Friday, December 29, 2017

රේස් ...

        පොල් අතු වියලේ අලුතින් හැදුණු සිදුරකින් පෙරී ඉර එලිය සමන්ගේ නින්ද බින්දේය. දිනපතා අලුත්වන පාළු වැව වල් අලි හානි ලයිස්තුවේ අලිතින් එකතුවූ පේලි කීපයට සමන්ගේ නිවාස ඇතුලත් වී සතියක් ගතවන්නට ඇත.. අතු පැලලි කීපයක් යන්තමට අටවා වසාගත් වම්පස බිතියට එපිටින් අම්මා සිනි බෝතලය සූරනු සමන් අසා සිටියේ පපුගත් සුසුම් රැල කිහිපයක් බිම හෙළමිනි..

       පැදුර අකුලා මුල්ලක ගැසූ සමන් පිටුපසට ඇදුනේ අමාරුවෙන් ගෙට රින්ගවාගත් තම එකම වස්තුව වූ බයිසිකලය පුරා බැල්මක් හෙළමිනි. මහ ගෙදරින් හොයාගත් පරණ බයිසිකල් පට්ටමක් අවුරුදු උස්සවේ රේස් පැදිය හැකි බයිසිකලයක් කරන්නට ඔහුගත් මහන්සිය දත්තේ ඔහුම පමණි. වින්කල් ගානේ කරක් ගසා සොයාගත් කෑලි ගෙදරම අමුණා සාදාගත් බයිසිකලයේ බ්රෙක්පලු හතරට වරුවකුත් ග්‍රීස් හා බයිසිකල් බෝල සඳහා දවසකුත් ලෙස ගිරවැල් කට්ටි කැපීමට ඔහුට සිදුවිය.. සියල් ආතාගෙන් ලැබුණු තීන්ත ටින් එකත්, නාමල් අයියාගේ පරණ පැඩල් කුට්ටමත් ඇරෙන්නට සියල්ලටම තම දාඩිය මහන්සිය යටවූ බව සමන් සිහිකලේ ආඩම්බරයෙනි..

"උබ උදේම නැගිටල.. " අම්මා ගේ හඬ සමන්ගේ සිතුවිලි දාරාව බින්දේය..

"අන්න කහට එකක් ඇති බිහන් මම එකක් හදාගන්නම්.. මන් යනවා අද සිරිය නැන්දලයි කුබුරේ වැඩට"

සමන් කහට කෝප්පය අතට ගත්තේය..

"අම්ම මන් යනවා බයිසිකල් පදින්න.. ගුණේ එනවා කිඋව පහල කෑල්ලට" එළිපත්තෙන් මෑත වී මව දෙස බැලු සමන් කිවේ මව දෙසට හැරෙමිනි..

"ඔන්න එහෙනම් ඔය වළදෙන් වහල ඇති හිල් බත් ඩිංගක් කාල පලෙන් බඩගින්නේ යන්නේ නැතිව.. දවල් වරෙන් කුඹුර පැත්තෙන්"

සමන් කුස්සි කෑල්ලට එබිකම් කලේ අඩි වැළඳේ වසා තැබූ බත්පත වෙතය..කිහිප කටකට වඩා නොවූ හිල් බත උඩින් ලුනුමිරිසක් යයි අමාරුවෙන් කිවහැකි, මිරිස් සමග මිරිකුණු රතුළුණු ගෙඩි කිහිපයක් සමන්ගේ නෙත ගැටිණි...

"අම්ම කෑවද ? " සමන් කුස්සිය තුල සිටම හඬලීය..

"කෑවා කෑවා උබ කාහන්කෝ" මව එසේ කීවද ඊයේ රෑ පිසුණු සහල් දෙහුන්ඩුවෙන් මිට වඩා යමක් ඉතිරිවිය නොහැකි බව සමන් දත්තේය..

"අනේ අම්මේ මේ .. බොරු කියන්ට එපා .. මම හන්දියෙන් ගුණය එක්ක මොන හරි කන්නම් අම්ම මෙන්න මේක කාල යන්ට" සමන් අරෝවක් මවාගනිමින් මව තරවටු කළේ 16 වියේ වූ තමා දත් බඩගින්න 40ස් වියේ වූ කය වෙහෙසන මවට දෙගුණයකින් දැනෙන බව හොදින් දත් නිසාවෙනි.

සමන්ට බඩගින්න අලුත් දෙයක් නොවේ. අගහිඟ කමේ ඉනිපෙත්තේ හිඳිමින් තමා නගන්නට වෙහෙසෙන මවගෙන් දවසට වේලකට වඩා සමන් බලාපොරොත්තු නොවුනා මෙන්ම මවට හැකි උපරිමයද ඒ විය. වත්ත පහල කටු අලයක් වැවුණු විටක හෝ අලින්ගෙන් බේරී කටු පඳුරු අතර වැඩුණු මයියොක්ක පඳුරක් අල දැරූ විටක දෙවේලක් කනවා ඇරෙන්නට තුන් වේලක් කිසිසේත්ම සමන්ගේ නිවසේ නොවීය..

"අම්ම මේක කෑවේ නැත්තන් මම කිටීයට විසික්ක කරනවා.."   මවගේ පිලිතුරටත් කලින් පැනය සම්පුර්ණ කල සමන් භාගයක් කඩාවැටුණු පිලට ගොඩ බටුයේය..

අම්මා වතුර කලය කෝප්පයට නවනු අසා සිටි සමන් පේර කොටුවක් සොයා වත්ත මායිමට පිළිපන්නේය..

..................................................................................................................................................................

"සමන් වරෝ ..."  ගුණේගේ හඬගෑම ඇසෙන විට සමන් සිටියේ බයිසිකලය පිස දමමිනි..

"මේ එනෝ... " නිල්පාට කොට කලිසමින් සැරසී බැනියම හැඳසිටි සමන්, ගුණේ වෙත බයිසිකලය පදින විටත් ඔහු ගමන් අරඹා පෙරගමන් ගොස් සිටියේය.

"අද යමන් වටේ පාරෙන්.. කිලෝ මීටර් 25යි හොදේ .. දුර වැඩි නිසා මම අද ටිකක් වැඩියෙන් කෑම ටිකක් බඩට දාගත්ත මේක පදින්ටත් අමාරුයි වගේ බන්"

සමන් සිනාසී ගුණේ දෙස බැලුවේය.

"යමන් යමන්.. ඕනේ මල දානෙක ගිහිල්ල රේස් එකට පදින්ට පුළුවන් වෙන්ට ආපහු එමු.." ගුණේ ද සිනාවට එක්වුනේය..

මදින් මද වේගය වැඩිකළ බයිසිකල් කරුවන් දෙපල 400 හන්දියට ලගා වන්නට වැඩි වෙලාවක් ගත නොවන්නට ඇත..

වෙනදාට වඩා දැනෙන මහන්සියකින් සමන් ගේ ගත වෙලා ගන්නා බව සමන්ට දැනේ.. දැනෙන නොදැනෙන ගනනට වැටෙන උදෑසන අවු රශ්මිය වෙනදා නොපලන් නුපුරුදු බවක් සහ අපහසුවක් සමන්ගේ ගතට දනවන්නට වුයේ සමන්ගේ වේගය මදින් මද අඩාළ කරමිනි..

"මොකෝ බන් ගාටන්නේ ඉක්මනට වරෙන් !! කැඳ බිලද අවේ උදේට.. " ගුණේ කෑගසිය..

"අද ටිකක් අමාරුයි බන්" තමන්ට කැඳ ටිකක් උවද උදේ නොලැබුණු බව සමන්ට සිහිවිය.. "තඹාල" ඉස්කෝලේ අසල කඩේකට ගොඩවුනු කුඩා දරුවෙක් පියාගේ ගෙලේ එල්ලී යමක් ඉල්ලා ඇවටිලි කරනු සමන් ගේ ඇස ගැටුණි.

සමන්ගේ පියා සිටි කාලය ඔහු සිහිපත් කලේ පහන් සිතිනි.. වැසි ලැබුණු කල හේන් ගොවිතැනෙනුත් වැසි නොබට මහවැලිය වියලී යන කල වලි ගොඩ දමිමෙනුත් දිවිසරිකරගත් සමන්ගේ පවුලේ අද ජිවතුන් අතර සිටින්නේ සමනුත් මවත් පමණි.. කොටි රැගෙන ගිය පියාගේ සහ සමන්ගේ වැඩි මහල් සහෝදරයාගේ සිදුරු පිරුණු සිරුරු අඹ ලෑලි පෙට්ටිවල බහා ගේ කෑල්ලේ තබා මියෙන පහන් ආලෝකයෙන් ආලෝකවත් කර තිබු අයුරු සමන්ගේ මතකයේ පැහැදිලිව ඇඳී ඇත.. 

"මේ උබට අමාරුනම් අපි පොඩ්ඩක් නැවතිලා යන්ද බන්.. මොකෝ උබට අද වෙලා තියෙන්නේ..." සමන් ගේ ගෑටීම දුටු ගුණේ පැවසුවේ මදක් වේගය අඩු කරමිනි..

"මම අද උදේට කෑවේ නෑ බන්.. දැන් නිකන් ඇගට පන නෑ වගේ ගුණේ .. මම හැරෙන්නම් උබ පලයන්.." සමන් මෙතෙක් වෙලා සිනාවෙන් සඟවා සිටි රහස ගුණේ වෙත දමා ගැසුවේය..

"ඉතින් යකෝ උබ ඕක කලින් කීවනම් ඉවරනේ.. යමන් මාගාව රුපියල් 100ක් ඇති නානගේ කඩෙන් පරාට කමු.. "

සමන් කිසිත් නොකියේය. කෙමෙන් නැගෙන හිරු රශ්මිය සෝමාවතී පොලොව පොලා නගී..  "මුස්ලිම් හෝටලය" පුවරුවට  බයිසිකලය හෙත්තුකල සමන් ගුණේ පිටුපස කඩයට ඇදුනේය..







 

Saturday, September 9, 2017

ගඟ......

මිහි මත රැඳුනු 
නුගුණ පිසිනට වැටුණු
කල් අකල් වැසි පිසින 
නුගුණ කඳ එකතුකොට 
එහි බරට හඬමින්
ගලින් ගල හැපෙමින්
විටෙක නිසලව තැවෙමින්
ලෝකවිදූ බව ලබමින්
සඟවයි සියලු දුක්
මුහුදු පත්ලට යොමමින්...................

Friday, July 21, 2017

කරඹ

ඉඩෝරෙට පෙම්බැන්ද
කරඹ මල් පොකුරකට 
වසන්තය අවැසි නැහැ 
ගෙනයන්න ඈතකට 

චන්ඩ හිරු රස ගෙනෙන  
කටු අරඹ සුව යහන
වසන මිහිදුම් එපා
ගෙනයන්න ඈතකට 

කටු තුඩෙහි රැඳී මිහිර 
සැඩ සුළගෙ සුමුදු බව 
නසන වැහි බිඳු  එපා 
ගෙනයන්න ඈතකට

වියලි නටුවෙහි සුවය 
දුහුවිලෙහි ආදරය 
උරන පිනි බිඳු එපා 
ගෙනයන්න ඈතකට......




  

Tuesday, January 10, 2017

නැතිවුණු කවිය

අවර හිරු රැස් නෙතින් දරමින් පුරුදු  අසුනේ තනිවෙලා
බලාසිටියෙමි  ඇගේ අතැඟිලි තිබුණු  ඔහු හා පැටලිලා  
පාළු දුම්රිය පොලේ ඈ හා තැනු මාලිගා ලංවෙලා
විසුනු වී ගිය හැටි මැවේ සිත උදම් රලකට හසුවෙලා

ඔබේ දෙඅතම දරා ලබැදිව දෙඩු බස් සිත් සනසලා
ඔබත් සමගම ගියා මතකින් රළට හසුවී දියවෙලා
පනත් මාවත් සමයි පැවසු සොදුරියක සිත වෙන්වෙලා
පියා යද්දී දැවුණු මාසිත තවත් වැළපෙයි සැඟවිලා

සඳත් ඔබවත් සමව දුටු මා අමාවක අඳුරින් පෙලා
හිරුත් රැගෙනම ගියා ඔබ මා සිතේ දොරගුළු රඳවලා
අදත් සිරවුණු මතක  සිරගෙ මගේ සිතුවිලි හඩතලා
ඔබේ වදනක පහස ඉල්ලයි  මිදෙන්නට දොරගුළු හෙලා

පෙළුණු සිතුවිලි පැලැස්තර කොට නැගෙන විට මා දිරිය ලා
ඔබේ මතකේ යදම් පහරින් යලි පියයි මා බිම හෙලා
නගන්නට සිතුවත් අපේ කව නැවැත්වූ තැන සිට බලා
ඇගේ පද වැල වෙනත් කවියෙකු ඔහුගේ කවියට අමුනලා


 






Tuesday, January 3, 2017

මැම්බර ගේ කුඹුර

අරගෙන උදැල්ලක් දෑතට නුහුරු වන
හපලා විටක් ගැමියෙකුගේ විලස ගෙන
හැදලා සරොන් කඩ පට සළු නැතිව හින
මැම්බර කොටයි පොඩි අප්පුගේ වෙලේ  පැන

වෙනදා නොපෙන්නු දත් ටික පෙන්නාලා
ඔහු හිනැහුනා වට යන එන අය බලලා
"ඇයි මේ මහත්තයෝ ? " ඇසුවෙකු පිරිවිසලා
ඇයි පුදුමදයි ඇසුවා ඔහු විලිස්සලා



ලේකම් තුමා මැම්බර නිවසේ රැදෙන
සරමක් ඇදන් කඩමණ්ඩියේ රැක සිටින
සිරිදාසගේ පවුලට ඔහු මුණ ගැසුන
වග ආරංචීය ඇය රැවටී ඇත එයින

මේ දවසක්ය පුදුමෙන් පුදුමේ ගේන
තව පුදුමයක් එයි පාරේ ඇවිද ගෙන
නෝනා මැම්බරගෙ කිසිදා බිම නොයන
මේ දැන් පැමිණුනා ඇබුලත් හිසින් ගෙන

චන්දෙත් ලග නෑය වසරකි ගත වුයේ
වාසියකුත් නෑය අප්පුව ගෙන් ආයේ
මේ ගම පුරා නැගී කසු කුසුවක් වුයේ
මැම්බර කිමද අප්පුගේ කුබුරේ වුයේ

සැප බස් රියකි ගුරු පාරේ දිග ඇදෙන
දිහුවිලි වලා වට පිට සැම විසුරුවන
කඩමන්ඩියට ඇවිදින් එහි නවතාන
කැමරා කාන්ඩෙකි ඉන් පිටතට අදුන

ගොවි මහතුන්ගේ දුක් ගැනවිලි සොයන්නට
ඒ දුක රටට හඬගාලා කියන්නට
ගම තොට ඇවිද දුක් කරදර සොයන්නට
ආබව කිය  සැම දෙනටම ඇසෙන්නට

අනේ මහත්තයෝ මෙය හොඳ වැඩක් වගේ
යමු මම පෙන්නන්ට ගම ගැන තියන අගේ
ගැමියෙක් විලස හැදී ලේකම් දාන රගේ
දැක සැම දෙනා පුදුමෙන් ගල් ගැසුන වගේ

රජයට පින්දෙන්ට අපි දැන් ගොඩ යාය
මේ ගම එහෙම දුක් නෑ ඔහු පැවසිය
ඔය බෝරු කියන්නට කිසිවෙකු එඩි පැය
නැගි රැවුමකින් යලි ඔහු ඉවතට වීය

බොරුනම් යමු මහත්තයෝ අපි බලන්නට
මේ ගම ගොවි රජෙක් දැන් මුණ ගැහෙන්නට
කියමින් මහතුන්ව කැඳවා ලෙස කුට
ඔහු ඇදුනේය ගම ඇති මහ වෙළ දෙසට

බාලව හැදුව ඇනිකට් එක පසු කරලා
වලවල් පිරුනු මාවත් සැම මග හැරලා
පැල්පත් දුගී පල සඟවා බොරු දෙසලා
පිරිසම ඇදෙයි අප්පුගේ වෙලා දෙස බලලා

අන්න මහත්තයෝ දුප්පත් ගොවි මහතා
කියමින් පැය ඔහු වෙළ මැද උන් ජගතා
හුවක් කියා අඩ ගා පා ගැමි පවතා
ඔහු කැඳවිය මඩ නෑ මැම්බර මහතා

දුක්පත් ගොවියෙකුගේ හැඩරුව මවාගෙන
මැම්බර පැමිණියා බ්යගැති විලාසෙන
මගේ නම අප්පුවා යයි ඔහු කී ලෙසින
තුෂ්නිම් භූත විය ගැමියන් කට ඇරින

හැම කන්නයම පොහොරත් බරටම ලැබෙනා
නිසි ලෙස හැදු ඇනිකට්ටුව හරි වටිනා
මාවත් නැතත් අපි සතුටින් මග යනෙනා
අප්පුට ඇඳපු මැම්බර පිළිතුරු දුන්නා

මේ දෙස සිටින මැම්බර තැන හරි හපනා
අසරණ ගැමියන්ට හොදහැටි සලකන්නා
ආණ්ඩුවේ ගුණ වරුනම පවසමිනා
අප්පුට ඇන්ද මැම්බර තම ගුණ වයනා

මේ සැම ලියා පොත් පත් ටික පුරවාන
කැමරා රූප පිරු කැමරා අකුලාන
නියම ගමක් යයි තමනට පවසාන
මහතුන් ගියා ආපසු බසයත් රැගෙන

මැම්බර මඩෙන් ගොඩවිත් ඇග පිස දාලා
ලේකම් ගෙනා කාරයකට ගොඩ වීලා
දුවිලි නගා ගැමියන් සැම නාවාලා
ඔහු යලි ගියේ සුපුරුදු ලෙස ඔරවාලා