Monday, December 31, 2018

තර්ටිෆස්ට් නයිට්





බුරුලට ඇඳි සරම
ඉනේ රැඳිලා තිබුන
අවුල් වුණු ඇඳ රෙද්ද
ඇඳේ පැත්තක ගුලි උන
මල්වෙඩි සද්දෙට
යන්තම් නින්ද හෙලවුන
තවත් එක රාත්‍රියක්
හෙට එලිවෙන්ට ගෙවුන


Saturday, October 27, 2018

සිහිනය

මට හරි මහන්සි
ඈ සිනාසුනි
දැන් වයස හින්දයි
ඈ පිලි වදන්දුනි........
මට හරිම කාන්සි
ඈ සිනාසුනි
පත්තරේ ඇවිත් ඇති
ඈමැ එය රැගෙන දුනි.....
මට හරිම කම්මැලි
ඈ සිනාසුනි
ඉන්න තේකක් දෙන්න
ඈ සෙමින් නික්මුණි ......
මොකද බං කියවන්නේ
හඬින් මම ගැස්සුනි
තවත් එක හීනයක්
මම විලින් ඇහැරුනි......

Friday, September 21, 2018

ඔපිස්

"ලේබර් එක ගාව බහින අය නැගිටල දොරලගට එන්න.. කෝ ඔය මහත්තය ලේබර් එක ගාව නේද බහිනවා කිවුවේ..." සුමනසිරි දනිපනි ගා නැගිට සෙනග අතරින් දොර අසලට ලගාවන විටම බස්රථය නැවතිණි..

"ආ ලේබර් ඔපිස් බහින්න ... "

කොන්දොස්තරගේ හඬ ගෑම අතරම බසයෙන් බැසගත් සුමනසිරි පදික වේදිකාව අසල සිට ගනිමින් සිසාරා බැල්මක් හෙළුවේය..

වෙලාව උදෑසන 7 පමණ වන්නට ඇත. පුරුද්දට මෙන් අතෙහි බැඳී ඔරලෝසුවෙන් තවදුරටත් කියවීමක් නොමැති බව සුමනසිරි දනී. වසර 30ක ලිපිකරු ජීවිතයේ විශ්‍රාම පුර්ව වසර 10ක්  පුරාවට අත රැඳී ෆයිල් බෑගය කරේ පටලවාගත් ඔහු "කම්කරු දෙපාර්තමේන්තුව" ලෙස රිදී අකුරින් ලියවුනු නාම පුවරුව සහිත ගේට්ටුව දෙසට පා එසවීය.

ළඟක සිට නැගෙන කොන්දේ හිරිය ඔහුව මදක් වක් බවට පත්කර ඇතැයි සුමනසිරිට සිතේ. පැය 6-7ක දීර්ග බස් ගමන ඔහුගේ ගතේ බර දෙගුණයක් කළා වැන්න.  හැකිතාක් කය කෙලින් තබාගෙන සුපුරුදු ගමනෙහි යෙදෙන්නට සුමනසිරි දැරූ ආයාසය ඔහුගේ ගමන් වේගය මදක් බාල කළා සේය.

"ලොක්ක කොහෙද මේ .. " 

ගේට්ටුවේ උන් සිකුරුටි තැනගෙන් නැගුනු ප්‍රශ්නය සුමනසිරි නවතාලීය. "

දැන්ම ආවට වැඩක් නෑ ඔපිස් එකේ මහත්තුරු එන්නේ 9 පහුවෙලා"

ඔහුගේ බජාර් පන්නයේ වාග් විලාසය සුමනසිරිට නොරිසියේය.

"මම එක දන්නවා යකෝ .. අවුරුදු 30ක් මාත් ඔපිස් එකක තමා වැඩකලේ " සිතට නැගුනු පිළිතුර ගිලගත් ඔහු වෙනත් පැනයක් සිකුරුටි තැන වෙත දමා ගැසුවේය.

"කැන්ටිම තියෙන්නේ කොහෙද ? "

සුමන සිරිගේ හිස සිට පාදාන්තය තෙක් බැල්මක් හෙලු සිකුරිටි තැන වම්පසට අතදිගුකෙලෙන් සුමනසිරි එමගට ඇවිද යන්නට විය.

රජයේ කන්තෝරුවක ආපන ශාලාවක් සොයමින් වෙහෙසූ සුමනසිරිගේ දෑසට හසු වුයේ ඊට හාත්පසම වෙනස්වූ නවීන පන්නයේ ආපන ශාලාවකි.. පසෙක බෝයිලේරුවකින් වාෂ්ප නැගුනු සිමෙන්ති පුවරුවකින් එපිට කෑම කුඩා පිරුණු ගතානු ගතික කන්ටිමක් පිරික්සූ ඔහු මෙම නවීන පන්නයේ ආපන ශාලාවට පිළිපන්නේ මදක් වෙලේවි වන සිතිනි.

දොරටුව අනෙක්පස කෙලවර මේසයක බෑගය තැනු ඔහු පැය ගණනක බර නිදහස් කරනු රිසින් පුරුෂ ලෙස සටහන් වූ දොරටුවෙන් අතුලුවීය.

පසුගිය වසර තිහ පුරාවට තමන් හා රැඳුනු පනා කැබැල්ල ඇදගත් ඔහු හිස සිට පය තෙක් පෙනෙන විසල් කණ්නාඩිය ඉදිරිපිට සිට අතරින් පතර ඉතිරිව තිබු කෙස් පඳුරු කිහිපය එක පසකට ඇලකලේය. බන්දපටිය මදක් බුරුලකර කමිසය අතිලට ඔබා නැවත බන්දපටිය හිරකර ගත ඔහු නැවත කණ්නාඩිය දෙස බලා සියල්ල නිවැරදිව පිහිටියේයයි තහවුරු කර ගත්තේය.

පිටතට පැමිණි ඔහු කෙලින්ම භෝජනාගාරයේ කවුන්ටරය වෙත පිය නගන්නට විය. කවුන්ටරයේ ඉහලින්ම පෙනුණු මනා ලෙස සැරසුණු කොලු ගැටයෙකු මුහුණ සුමනසිරි දැකීමෙන් ප්‍රීතියෙන් පිනායනු ඔහුට පෙනේ. කාර්යක්ෂම රාජ්‍ය සේවයට උපහාර පිණිස මෙම භෝජනා ගාරය ඇමති තුමා විසින් සාදා නිමකරන ලද බවට දැක්වෙන පුවරුවක් මිලදිගන්නගේ නෙත ගැටෙන ඉහලින් රඳවා ඇත.

"මල්ලි මොනාද කන්න තියෙන්නේ ?"

සිනාවකින් මුවසරසාගත් කෘතීම ආචාරශීලි බවක් පෙන්වූ තරුණයාගේ දෑත වීදුරු පෙට්ටිය්ර් වූ දිව උලුක් වන නම් සහිත විවිද හැඩයේ පිටිගුලි කිහිපයක් වෙත දිවයනු සෝමසිරි බලා සිටියේය..

"ඉදිආප්ප එහෙම නැද්ද ? "

"අනේ සොරි සර් .. අපි ඉඳිආප්ප නම් කරන්නේ නැහැ.. තව ටිකක් හිටියොත් මැකරෝණි එක නම් එයි.."

මුහුණ නොපිට පෙරලවාගත් සුමනසිරි බෑගයත් කරේ පටලවාගෙන නැවතත් ගේට්ටුව දෙසට ඇවිද ගියේ නොපහන් සිතිනි.

අනාචාරශීලි සිකුරුටි තැන තවමත් එහි වෙයි ..

"මේ ලග මොනා හරි කන්න තැනක් නැද්ද ? " ඔහු සිකුරුටි තැන විචාළේය..

""මට හිතුන.. ඔය කැන්ටිමේ තියන ඒවා කාල අපිට හරියන්නේ නෑ මහත්තය ඔන්න ඔතන වම පැත්තේ පොඩ්ඩක් එහාට තියනවා කඩයක්.."

සුමනසිරිගේ පරාජයෙන් උත්තේජනය වූ සිකුරුටි තැන ගේට්ටු කුටියෙන් පිටටම පැමිණ දැක්වූ දිශාවට සුමනසිරි පියනගන්නට විය...

ඉදිආප්ප සහ ප්ලේන්ටියකින් පණ ගැහුණු සුමනසිරි මෙවර වඩාත් ධානාත්මක ලෙස තමා පිළිගනු ඇතැයි සිතු නිසාය සිකුරුටි තැන කෙලින්ම සාකච්චාව ඇරඹුවේ...

"මහත්තය මොනා කරගන්නද ?"

"මගේ මේ පඩියේ පොඩි ප්‍රශ්නයක් හදාගන්ඩ ..."

"ඈ එහෙනම් අනිල් මහත්තය තමා .. මහත්තයානම් අවා හායි ඉතිං දයාවංස තාම නෑ .. හේ හේ හේ "...

අනිල් කුලසිරි - තමා ලද ලිපියේ ඒ නම සටහන්ව තිබෙනු සුමනසිරිට මතකය.

"අනිල් මහත්තය තමා හම්බෙන්න ඕනේ ... දයාවංස කියන්නේ කවුද ?" 

සිකුරුටි තැනගේ හතර බිරි කතාව සුමනසිරිට නොවැටහිණි.

"ඒවා වැඩක් නෑ.. ඔහොම ගියාම හම්බෙනවා වුර්තිය සමිති සබාපතිගේ ඔපිස් එක.. එතනින් දකුණට  හැරිලා ලිෆ්ට්ති එක ලග පඩිපෙළෙන් දෙවැනි තට්ටුවට නැග්ගම තියන පලවෙනි කාමරේ "

සිජුරුටි තැනට දත් පෙන්වූ සුමනසිරි වහා එදෙසට . වුර්තීය සමිති සභාපතියේ කුටිය දුටු සුමනසිරිගේ මතකයට තමන් වරෙක සේවය කල මිද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති තැනගේ කුටිය සිහියට නැගේ. උස්ව නැගුනු සිහසුනක් වන් පුටුවත් විශාල මේසයත් සුමනසිරිගේ දාස මදකට නවතාලන්නට සමත් විය. දකුණට හැරී සේවකයින්ට  පමණයි ලෙස සටහන්වූ එලවේටරය පසුකල සුමනසිරි පඩිපෙළ නැග "අනිල් කුලසිරි" ලෙස සටහන්වූ කුටිය අසල නැවතිණි.

අඩක් වීදුරුවෙන් වැසුණු කුටියේ පරිගණකයට එබී යමක නිරතවන මදක් තලතුනා අයෙක් සුමනසිරිට පෙනේ.

"මේ අනිල් මහත්තය වෙන්ඩ ඕනේ"

අදාළ තැනැත්තාගේ අවදානයට ලක්වන තුරු දොරටුව අසල විනාදිකිහිපයක් ගතවන්නට ඇත. වනුනු අතින් සන් ලද සුමනසිරි වහා කුටියට පිළිපන්නේය. තමා ඇත වූ ලිපිය අනිල් ඇත රඳවා වූ ඔහු උවමනාවෙන් ලිපිය කියවන අනිල් දෙස බලා සිටියේ ඔහුගේ වචනයක් අපේක්ෂාවෙනි.

"වැඩේනම් කරලා තියෙන්නේ .. ලියුම ගහන්න කෝමේ පියන්ල කවුරුත් නෑනේ තාම.. පොඩ්ඩක් එළියෙන් වාඩිවෙලා ඉන්න මම ලියුම ගහපු ගමන් කතා කරන්නම්"

කුටියෙන් එලියට බට සුමනසිරි කුටියෙන් පිටත වූ දළ ප්ලාස්ටික් පුටු කිහිපයෙන් එකක වාඩිගත්තේය. තවමත් උදෑසන වැඩි බැවින් රාජකාරි කරවාගැනීමට පැමිණ ඇත්තේ තවමත්ත සුමනසිරි පමණය..

"උදේම ආව නිසා හොදට ගියා.. වැඩේ ඉක්මනය ඉවර කරගෙන යන්න පුළුවන්"

සුමන සිරි ඉදිරියේ ඇති බිත්තිය පුවරු විශාල ප්‍රමාණයකින් වැසී ඇත.. නොවසි ඇති සිහින් තීරු කිහිපය අතරින් බිතියේ සුදු පැහැය අතරින් පතර පෙනේ. පසෙක අමුණා ඇති රුපවාහිණිය තවම ක්‍රියාත්මක කර නැත. රාජ්‍ය සේවය වර්ණනා කෙරෙන පුවරු ගොන්නක් අතර රැඳී  "මෙම ආයතනයෙන්  ඔබට ලබාගත හැකි සේවාවන් සහ ගතවන කාලයන්" ලෙස සඳහන් වූ පුවරුවෙ සුමන සිරි පැමිණි වාදය සටහන්ව නැත.

පයක පමණ කාලයක අවෑමෙන් සුමන සිරි අසල රැඳුනු සියලු පුටු පිරි ගොසිනි. පුටු ලබාගැනීමට තරම් වාසනාවන්ත නොවුණු කිහිප දෙනෙක් නොරොක් වූ මුහුණින් බිත්ති වලට හේත්තුවී ඉඳගෙන නිදිකිරණ පිරිස දෙස බලා සිටී.

එකවරම ඉක්මන් ගමනින් පැමිණුනු පියන් කෙනෙකු ලෙස සැලකිය හැකි අයෙකු නිදා සිටි අයෙකුගේ පසෙක වැදී රුපවාහිණිය වෙත එළඹින.. එහි පිටිපස අතගා දුරස්ථ පාලකය ;අබාගත් ඔහු එය ක්‍රියාත්මක කරවා එපිටින් වූ රාක්කයක තැබූ අපිළිවෙල ඇත පත්‍රිකා ගොන්න පිළිවෙල කරන්නට විය.

කාර්යාලය කාර්ය බහුල වී ඇත. මෙතෙක් හිස්ව තිබු කුටි කිහිපයකම ඉහලින් හිස් ගෙඩි දැක ගත හැක.. මේ අතර සුමනසිරි සිටි කොරිඩෝව පසු කර යන අයෙක්

"අන්න අනිල් මහත්තය දයාවංස හොයනවා ... " ලෙස පැවසිය.

"පොඩ්ඩක් ඉන්න කියන්න මට මෙතන කොච්චර දේවල් තියනවද ඊට කලින් කරන්න ?" නුරුස්සනා  ලෙස පැවසු පත්‍රිකා අහුරන පියන් තැන වාදිවිසිටින සේවා දායකයන් දෙස උඩඟු බැල්මක් හෙලීය.

එසේනම් දයාවංස මොහු විය යුතු නොවේද? සිකුරුටි තැන පැවසු පුද්ගලයා පැමිණ ඇත.

මද වෙලාවකට නොපෙනී ගිය ඔහු නැවත පැමිණියේ  සුමනසිරිගේ ලිපිය අතේ රන්දවාගනිමිනි.

"කවුද සුමනසිරි කියන්නේ ?"

"මම " සුමනසිරි වහා නැගිසිටියේය..

"ඈ මෙහෙට එන්න පොඩ්ඩක්"

ඔහු නැගු සිනාව තරමට වැඩි යයි සුමනසිරිට සිතේ. ඔහු දයාවංස පිටුපස ඇදුනේය.

"සුමන සිරි මහත්තයාගේ වැඩේ නම් හරි... හැබැයි සල්ලි ගන්න නම් ටිකක් පරක්කු වෙනවා මාසයක් විතර වගේ යයි" දයාවංසගේ මුහුණේ සිනාව අතුරුදන් වී බැරෑරුම් බවක් මතුවී ඇත.

"ඒ කිවුවේ..මට එන්න කියල තිබ්බේ චෙක් එක ගන්නනේ"

"එක තමා ප්‍රශ්නේ .. චෙච්ක් එක අස්සන් කරන මහත්තයට අද වැඩ පොඩ්ඩක් වැඩි.. මහත්තයට ඊගාව බදාදා වගේ එන්න පුලුවන්නම් ඔන්න වැඩේ කළැකි"

රාත්‍රී 12න්  ඇරඹි පැය හතක දුෂ්කර බස් ගමන සුමනසිරිගේ මනසේ ඇඳෙන්නට විය. නින්දත් නොනින්දත් අතර සෙනග අතර තෙරපෙමින් කන්දොස් කිරියාවල් දරාගනිමින් පැමිණි ගමන කිසිසේත්ම දෙවන්නකට සිත් කන්දවන්නක් නොවේ.

"අනේ මේක අදම කරගන්න බැරිද ? මම ආවේ කරපුටුගල ඉඳල .. බදාදා එන්න කියන්නේ වෙනම ගමනක්"

"කරපුටුගල.... අප්පා මාර දුකක් නේ .. " එකකට එකක් නොගැලපෙන අබිනයන් මුවෙහි මවාගන්නට දයාවංස නළුවෙකුටත් වඩා සමත් ඇතැයි සුමනසිරිට සිතේ. හිස තෙක් ඇදුනු ඔහුගේ අහි බැම පහලට එන්නටත් කලින් අනිකම්පා හැඟීමක් ඔහුගේ මුහුණ වෙලාගති.

"මේකයි හරි පාරෙන් නම් අද ගන්න වෙන්නේ නෑ මහත්තය.. හැබැයි මහත්තය කැමති නම් පොඩි ගානක් වියදම් කරලා අදම වැඩේ කරගැත්තකි" බලලා මල්ලෙන් එලියට එනු සුමනසිරිට පෙනේ.

"මේ ලක්ෂ ගානක් බලත්දී රුපියල් දාහක් කියන්නේ මොකක්ද නේද මහත්තය"

සුමනසිරි වහා පසුම්බිය පිටතට ගත්තේය..

"හා හා මොකක්ද ඔය කරන්නේ .. මවත් මාට්ටු කරන්නද හදන්නේ.. ඕව ඔහොම කරන්න බෑ පහල ලිෆ්ට් එක ගාව ඉන්නවා මම එන්නම්... කවුරු හරි ඇහුවොත් ඇයි ලිෆ්ට් එක ගාව කියල ... සභාපති තුමා හම්බෙන්න ආව කියනවා"

සුමනසිරි තරප්පු පෙළ දිගේ පහලට බැස මිනිත්තු කිහිපයක් ගතවන්නට ඇත එලවෙටරයෙන් පැමිණි දයාවංස ඔහු අසලට පැමිණෙන තුරු ඔහුට නොපෙනිණි. සුමනසිරිගේ පිටට තට්ටුවක් දැමු දයාවංස කෙලින්ම වුර්තිය සමිති කාර්යාලයට ඇදෙනු සුටු ඔහු දයාවංස පසුපස කාර්යාලයට පිවිසියේය.

වචනයක්වත් පිට නොකළ දයාවංස ගේ බැල්මෙහි රැඳී තිබුණු  උවමනාව සුමනසිරිගේ පසුම්බියෙන් පිරිමහිනි.

"ඔන්න  දවස් දෙකක් කට්ට කන්න වෙන වැඩේ එක දවසෙන් බේරුවා හොදද හරිනේ .. යේ මොනා හරි ඕනේ උනොත් කාර්යාලේ පැත්තේ එන්නකෝ" ව්‍යාජ සිනාවෙන් පිරුණු දයාවංස ගේ මුහුණට දත් දේපල පෙන්වූ සුමනසිරි ගේට්ටුව දෙසට ඇදුනේය.

"මොකද වැඩේ හරිද ? " මුකරි සිකුරුටි තැන සිනා පිරි මුහුනින් තවමත් එතැනමය. මෙවර සුමන සිරිගේ මුහුණ පිරිපුන්ය.

"යමුද සිකුරුටි මහත්තය තේකක් බොන්න .. මට දයාවංස හම්බුනානේ "

"යමු යමු මාත් මේ යන්න කියල හැදුව විතරයි..."

"කාර්යක්ෂම රාජ්‍ය සේවයට උපහාර පිණිස මෙම භෝජනා ගාරය ඇමති තුමා විසින් සාදා නිමකරන ලදි" පුවරුවට යටින් ව්‍යාජ සිනාවෙන් පිරි ආපන ශාලාවේ කොලු ගැටයාගේ මුහුණ පෙනේ..

සුමනසිරි ප්ලේන්ටි දෙකක මිල ඔහු අතේ රැදෙවුවේය.

Monday, September 3, 2018

ග්‍රාමීය නාගරිකයා සහ නාගරික ගැමියා

පානමෙන් වාසිටි ගිය කරෝලිස් ගෝයියගේ වැඩිමලා... මිස්ටර් සිරිපාල සිංහලත් ඉංගිරිසිත් නොදත් කම්කරු ඔපීසියේ ලොකු තැන... දරුවන්ට වෙල පෙන්නන්ට පානමට සෙල්ලම් ගමනක..... මඩ ගෑවෙයි ලු ඇදුමේ විසබීජ ලු වතුරේ..

Saturday, February 17, 2018

දසවන ප්‍රථම ආදරය

මට මෙහෙම ඉන්න බැහැ බන් .. මට ඒ කෙල්ල හම්බෙලා කතා කරන්නමයි හිතෙන්නේ ..

කුරුණෑගල වැවු බැම්ම මත වාඩිවූ මම මගේ සිතුවිලි ලිහා හළෙමි..

"පිද්දුද උබට ... උබ ඔය හිටිය වගේ ටික කාලයක් ඒ කෙල්ලව මග ඇරපන් මචන් ... උබ කරන්නේ හරි දේ .. ඒ කෙල්ල කවද හරි තේරුම්ය ගනී ඒක"... මධු ගේ හඬින් මගේ ආවේගය බිඳී වැටිණි..

දෙතැනක රැඳුනු තහනම් ආදරයක වියෝවෙන්.. සිතැගි හා යතාර්ථය අතර දෝලනය වූ මා හෙම්බත් වී ඇත. "ඇයට මා ආදරය කලේ ඇයිදැයි මම නොදනිමි" යන කියමන හුදෙක් බොළද පෙම් කතාවල එන දේශපාලන වචනයක් ලෙස සිතාසිටි, වාද කල මම එවන් මොහොතකට එලබෙතැයි සිහෙනිදු නොසිතුවෙමි. නමුත් මම ඇයට ආලය කරමි.

කිසිවක් නොසලකන කිසිවෙක් නොවලහන අහේතුක ප්‍රේමයක මම පැටලී සිටිමි.

"මේකයි සහෝදරයා .. එක අතකින් ඉතා දුරින් හරි ඒ උබේ නෑකමට පුංචි... අනිත් එක උබලගේ ගෙදරින් උබට කොහොමටවත් ඕකට කැමැත්ත දෙන්නේ නැහැ... අපිට උබට උදවු කරන්න බැරි නැහැ .. හැබැයි බන් එකෙන් වෙන්නේ උබල දෙන්නම අමාරුවේ වැටෙන එක.." කමල් මගේ උරහිසට ඇත තබා සුපුරුදු සහෝදර කම මාවෙත විදහාලිය..

ප්‍රථම වරට අහිංසා මාහට හමුවන විට මා දහඅට  වියෙත් ඈ දාහත් වියෙත් පසුවන්නට ඇත. කලින් කල හිතවතුන් නෑයන් මෙන් හමු වී වෙන්වූ ඈ හා මා ආලයෙන් වෙලේ යයි මම සිහිනේකිනිදු නොසිතුවෙමි.. නොපැතුවෙමි. මෙවන් ගැඹුරු ආලයක ප්‍රස්තුතය කුමක් දැයි මා දැනටත් විමසමි... බොහෝවිට එය ඇගේ අනුවේදනීය ජිවිත කතාව වන්නට ඇත.

අහිංසා හමු වූ දා පටන්ම ඇගේ දිවියේ වූ තනිකම මා හැඳින්නෙ දෛවයේ සරදමකට මෙනි.. පවුලේ එකම දරුවා වූ ඇය දරන්නේ ඇගේ මවු පාර්ශවයේ ලක්ෂණද පිය පාර්ශවයේ ලක්ෂණද යයි මම නිතර කල්පනා කලෙමි.

"අම්මේ අහිංසා ගේ අම්මයි තාත්තයි හරි වෙනස් නේද ?" ... කුතුහලය තවදුරටත් නොදරනු වස් මා මවගෙන් වීචාලෙමි.. ඈ මට මේ කියන්නට යන්නේ අහින්සාගේ පවුලත් අපේ පවුලත් අතර සබඳතා අවසන් වන්නට කරුණු යෙදෙන ජිවිත කතාවක් යයි ඇය කිසි ලෙසක නොසිතන්නට ඇත.

"හ්ම්ම්.. පුතා ඒ ගැන ඒ ළමයට එහෙම කියනවා නෙවේ හොදද.." අවැසිදේ ඍජුව ඇසීමේ මාගේ පුරුද්ද දත් මව කතාව ඇරඹුවේ එලෙසිනි.

"ඇයි ඒ ..."

"ඔය ළමය ඒ දෙන්න අරන් හදාගත්ත දරුවෙක් පුතේ.. මොන උනත් බොහොම අහිංසක දරුවෙක්.. ඒ අත්තම්මටයි සියටයි දරුවෝ හිටියේ නැහැ... ඒ අතරේදී තමා ඔය දරුවෙක් අරගෙන තියෙන්නේ... " 

මගේ හදවතේ නැගුනු සිතුවිලි දාරාව එකවර ලිහාලිමට නොහැකි සේ පැටලී ගියේය. එසේනම් මට දැනෙන ඇගේ තනිකම සැබෑවකි.

"ඔය දරුවා ගෙදර තියාගන්නේ නැත්තේ .. ඒ දරුවට කවුරු හරි ඔය කතාව කියයි කියල... ඒ දරුවා තාම දන්නේ නැහැ ඔයවගක්.. දැනගන්න ඕනෙත් නැහැ.."

මවගේ ආලයත් පියාගේ සෙවනත් අවැසි කාලයක නිවසින් ඉතා දුරක ඈ නවතා දුරස් කර තබන්නට කාරණය එසේනම් මෙයයි.

" දැන් තමුසෙට මොනවටද ඕව.. අන්න තමුසෙගෙ පරණ අංගනාව කතා කළා ගෙදර නම්බරේට.. "...

කෙළිලොල් තරුණ වියක් ගතකල මට බොහෝදෙනා සිතන පරිදි ඉතා පිරිසිඳු හෝ ඉතා අපිරිසිඳු චරිතයක් නොතිබුණු බව කිව යුතුමය.. මහා රුවත්තෙකු නොවුවද කුමක් හෝ ස්ත්‍රී ආකර්ශක ලක්ෂණයක් නිසාවෙන් සැබෑ නොවූ ආදර කෙටි කතා කිහිපයකම පෙම්වතා චරිතයට මම පනපොවා සිටියෙමි.. ආදරයකට වඩා කුතුහලයකට දිවගිය එවන් පරිචයන් බොහෝවිට දෙතුන් මසකට සිමා විය.. ඉන් බොහොමයක් අපේ නිවසට ආරංචි වන්නට ගතවුයේ දිනක දෙකක කෙටි කාලයක් පමණි.. මුලින් මුලින් ගතානුගතික මාතෘ ලක්ෂණ පෑ මගේ මව විවිධ තර්ජන ගර්ජන කලද පසුකාලීනව ඈ මාගේ වගකීම් සහිත කෙළිලොල් බව තේරුම් ගත්තා වන්නට ඇත.

"හරි හරි මම කියන්නම් ආයේ ගන්න එපා කියල..." කතාව දික් ගැස්සෙන්නට කලින් මම කාමරයෙන් නික්මුනෙමි..

ජංගම දුරකථනය සාක්කුවේ රුවාගත් මා වත්ත පහල කොස් ගස අසලට අදුනෙමි.. මට අහිංසාගේ කටහඬ අසන්නට උවමනා විය.

"හලෝ අයිය" ඇගේ කිංකිනි නාදය වෙනදාටත් වඩා මගේ සිත පුබුදුවාලිය.

"ඉතින් ඉතින් කොහොමද ? තනියම වෙන්න ඇති කියල හිතල මම ගත්තේ පොඩ්ඩක් බලන්න"

කතාව ඉදිරියට ඇදී යද්දී මගේ සසල සිත භාවනාවට සම වැදුනා මෙනි.

කාලය සමග බොහෝ මිතුරු සහෝදරයන්ගේ උදවුවෙන් අප දෙදෙනා පෙම්වතුන් වීමු.

"මම ඔයාට හා කිවුවොත් මම කරන්නේ වැරද්දක් නේද අයිය .. මම නෑ කමට ඔයාගේ පුංචි .. ඔයාගේ අම්ම මට කවදාවත් කැමති වෙන්නේ නැහැ.." ඈ එසේ කිවා මගේ සවනේ තවත් දොන් කාර දෙන්නාක් මෙනි. ඈ එදා කි දේ මා ඇසිය යුතුව තිබුණි.. කුමක් හෝ අදෘශ්‍ය මාන බලවේගයක් මගේ සිත බලෙන් ඈ හට බාරදුන්නා මෙන් යයි මට දැන් හැගේ..

උසස්පෙළ යුද්ධයත් ආදර කතාවත් සමලෙස ඇදියද්දී ඈ මගෙන් වෙන් කල නොහැකි තරමට මා ඇගේ ආදරය වැළඳගෙන සිටියෙමි. මගේ කෙළිලොල් ජීවිතය මම ඇයට ලියාදුනිමි...

මේ සියල්ල වෙනස් වූ සති දෙක තුනක අතීතය තවමත් මට අදහාගත නොහැක.

"අයියේ මම ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද ?" මද නිහැඬියාවකින් පසු ඈ මගෙන් විමසුවාය. පැනයේ අසාමාන්‍ය ස්වරය නිසා මා සිතුවේ එදිනෙදා පෙම්වතුන්ගේ ආදර හබයකින් එකක් ඈ අරඹන්නට යන බවකි.

"අහන්න.. මොකක්ද අහිංසා"..

"අයියේ මාව අරන් හදාගත්ත ළමයෙක්ද ?"

මගේ දෙකකුල් පන නැති වී මා සෙල වී ගියේය.. හිස සිට පාදාන්තය තෙක් නැගුනු උණුසුම් හැඟුම් ධාරාව මා නිරුත්තර කර දැමුයේ ඈ හට කුමක් කිවයුතුදැයි සිත අතරමන් කර දමමිනි.

"කියන්නකෝ ඔයා මොන හරි දන්නවා"..

මට ඈ දෙස බැලිය නොහැක "මට මට එක කියන්න බැහැ අහිංසා .. ප්ලීස් .. උත්තර නැති ප්‍රශ්න මගෙන් අහන්න එපා මට ඔයාට බොරු කියන්න බැහැ" ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසකාවකි .. කඳුළු පුරවාගත් දෙනෙතින් මාවෙත බලා සිටිනවා හැර ඈ කිසිවක් නොකිවාය..

"අනේ අයියේ කියන්නකෝ " යනුවෙන් ඈ ඇවිටිලිකරතයි මගේ බලාපොරොත්තුව බිඳී ගියේය.. ඈ වචනයකුදු නොකියා මා අතරමන් කර දැමුයේ ඉතා කෘර සිතුවිලි කුනාටුවකය..

මම ඇයට ලිපියක් ලිවීමි .. මා දන්නා සියලු දේ ඇයට ලිවීමි... නොනිදා පහන්වනතුරු ඇයට ලිවීමි..

"නැගිටපිය .. බුරුව ..." අම්මාගේ මහා හඬ මා නගා සිටුවීමට ඉතා ප්‍රමාණවත්ය..

"උබ හිතන් ඉන්නේ අපි ඇස්කන් පියන් ඉන්නවා කියලද.. උබ ඇර කෙල්ල එක්ක මගුල් නටන්නේ කාලකන්නි වෙන්නද.. යකෝ ඒ කෙල්ලට නැතිවෙලා තියන දේවල් මදිවටද උබත් බලාපොරොත්තු දෙන්න හදන්නේ.. මතක තියාගනින් පුතේ උබ ජනාධිපති උනත් මම උබට ඒකිව බඳින්න දෙන්නේ නෑ... බඳිනවනම් මගේ මිනිය උඩින් තමා .. මම එකිටත් කිවුව  මේ ටික.. මමත් හැදුව අලියෙක් වගේ කොල්ලෙක්.. කොල්ලෙක් නෙමේ මු අලි හරකෙක්..."

මව පිටවී ගිය පසු මම මේසය දෙස බැලීමි.. ම ලියු ලිපිය පොඩි වී බිම වැටි ඇත.. අසිහියෙන් මෙන් ලිපිය ලියු මා දොර වසන්නට නැත.. මම වහා ජංගම දුරකථනය සෙවීමි.. එය කොතනකවත් නොවිය..  මව එය රැගෙන යන්නට ඇත.

වචනයක්වත් කතා නොකරන මවගේ බත්පතින් කුස පුරවාගත් මම හෙමිහිට කමල්ගේ නිවස වෙත ඇදුනෙමි..

"ආ මස්සිනා වරෙන් වරෙන් .. " අමාරුවෙන් නගාගත් සිනහවකින් මා මුව සරසා ගත්තෙමි..

"කමල් පොඩ්ඩක් ෆෝන් එක දියන්.. මට ටිකක් උබ එක්ක කතා කරන්න ඔනේ ඊට කලින් මට අහිංසට කතා කරන්න ඕනේ"

"මොකෝ මේ සහෝදරයා .. ආදර හුටපටයක්ද .. හිටපන් ..." කමල්ගේ ජංගම දුරකතනයෙන් මම ඇය ඇමතීමි.. ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත. අම්මා ඇයට ඉතා පරුෂ ලෙස දොස් කීවාට සැකයක් නැත..

දෙදිනකට පසු ලද අවසරෙන් මම ඈ සොයා ගියෙමි.. අම්මා පොඩිකල ලිපිය මා අතේ විය...

ඇය හැඬුවාය .. මගේ උරහිස තෙත් වනතුරු .. අගේ දුක නිවෙනතුරු වචනයකුදුකතා නොකොට ඇය බොහෝ හැඬුවාය..

"අනේ අයියේ මට ඉන්නේ ඔයා විතරයි .. මට බයයි ඔයත් මාව දාල යයි කියල... මට තේරෙනවා ඔයත් මට නැතිවෙනවා කියල..." මම ඇයව අස්වසාලීමට වචනයකුදු නොකීවෙමි... මගේ ආදරය ඈ සිතනවාට වඩා ගැඹුරු කෙළවරක බව ඇය නොවටහා ගන්නවා ඇත.. බදා ගැනීම නොව  අතහැරීම ආදරයේ පරිනතම කෙලවර බව ඇයට කීමට මේ වෙලාව නොවේ...

මම මගේ ආදර කතාවේ ප්‍රථම වතාවට බුද්ධියට ඉඩ හළෙමි... මා ඈ ලබා ගතහොත් ඇයට අහිමි වන දේ මම සිහියට නගා ගතිමි .. මට අහිමි වන්නේ මව පියා උවද ඇයට මුළු ලොවම අහිමි වන බව ඇයට තේරුම් කල නොහැක. ලොව සුවහසක් අනිත්‍ය බද්ධකොටගෙන මෙලොව එලිය දකින ජීවීන් අතර මාද එක් ජීවියෙක් පමණි.. මා ඈ ලබාගෙන සිටින දවසක ඒ අනිත්‍ය විසින් මා ඇගෙන් උදුරා  ගතහොත් ඇය තනිවන අයුරු.. අයට සමාජයෙන් නැගෙන අවලාද මම සිහියට නගා ගතිමි.

තනිව තීරණයක් ගන්නට සිතට එඩි නොමැති නිසා මම කමල් සහ මධු දෙමිතුරන් මුණ ගැසුනෙමි. ඔවුන් මගේ ආදර කතාවේ මෙන්ම ජිවිත කතාවෙද අඩු ලුහුඩු කම් හිඟ පාඩුකම් මා හා බෙදාගත් සුමිතුරන් වුයෙන් මා නගන්නට දැරූ වෙහෙස අපමණය..

මම කාලයට ඉඩ දුනිමි.. ඈ උසස් පෙළ සමත් වනතුරු මේ අවසන් මාස කිහිපය ඇයට ඉඩ දෙන බව මම කීවෙමි.. මේ කාලය තුල ඇගෙන් ඉවත් වීමට තරම් දුරස්ථ බවක් තනා ගන්නට මම මගේ හදවත අඩපන කලෙමි... මම මගේ ම ආදරය මරණට පිඹුරුපත් අන්දෙමි..

මම ඇයට එය කීවෙමි.. මම මා විසින්ම වැරදි කරුවා කොට ඇගේ සිතේ චිත්‍රයක් මැවුවෙමි.. මම මගේ ආදරය මා මරා දැමීමි... මා ඇයගේ පරම සතුරා වන තැනට මම මාවම පත් කලෙමි...

ඇගේ මගේ හමුවෙමේ මේ ආත්මයේ නිමාව මා අතින්ම ඒ අයුරින් ලියවුනි.

"හ්ම්ම් ඇත්ත බන් ... මම කැම්පස් ගියාම මට මේක අමතක වෙලා යයි ..." මම අමල් සහ මධු දෙස බැලීමි...

"අහිංසා කවද හරි තේරුම් ගනී උබ මෙහෙම කලේ ආදරේට කියල.. හැබැයි මචන් මම එකක් තේරුම් ගත්ත .. උබවගේ ඇත්තට ආදරේ කරන එකෙක්නම් මම කවදාවත් බැඳගන්නේ නැහැ ... එක මහා දුකක් බන් .. " මධු මාදෙස බලා කිවාය...

"යමන් පරක්කු වෙනවා"

මම අවසන් වරට ඇතුගල දෙසත් වැවු තලයේ නැගෙන රැලි දෙසත් බලා සිටියෙමි.. ඇගේත් මගෙත් අතිනත් පැටලුනු රහස ඇතුගලත් මේ දිය රලත් සධාතනිකව මුමුණනු ඇත...

________________________________________________________________________________

ඇය උසස්පෙළ සමත් විය.. මගේම මිතුරෙකු සමග විශ්ව විද්යාලයේ ඇරඹුණු ප්‍රේමයකින් අනතුරුව විවා පත් ඇය ගෙවන ජීවිතය දෙස මම අද බලා සිරින්නේ නිරාමිස දෑසිනි.. කෙතරම් දුකක් උවත් එදා ගත් තීරණය ගැන මම අදටත් පසු නොතැවෙමි.. නමුත් අදටද ඇයට මම ඇගේ සතූරෙකි .. පරම සතුරෙකි ...   

මම ඇයට ආලය කලෙමි...
  

Tuesday, January 30, 2018

ෆැන්ටසිය

දෙතැනක හිද බලා
නෙත් දැහැනෙන් වෙලා
ඔබ මා ලං වෙලා
සිත කුල්මත් වෙලා

ආදර ගග දිගේ
සිහින ඔරුව මගේ
පදවන දෑතක් සෙවුවෙමි
එය මට හමු වෙලා

ආදර ගග දිගේ
සිහින ඔරුව ඔබේ
දිවි ඇති තෙක් පදවන්නෙමි
මියුරු මුහුද බලා

දෙතැනක හිද බලා
නෙත් දැහැනෙන් වෙලා
ඔබ මා ලං වෙලා
සිත කුල්මත් වෙලා

දිවි කතරේ මගේ
තනිකම ඇත පිරි
ඒ දාහය නිවාලන්න
විල් තෙර හමු වෙලා

දිවි කතරේ ඔබේ
සිහිල් වැස්ස වෙලා
හැම දාමත් මම එන්නම්
ඔබට සිසිල සදා  

දෙතැනක හිද බලා
නෙත් දැහැනෙන් වෙලා
ඔබ මා ලං වෙලා

සිත කුල්මත් වෙලා