Sunday, November 27, 2016

වහර සහ විකාශය නම්වූ ඉතිහාසයේ දෙමාන ...

සොර බොර වැව පිළිබඳ කියවෙන බුලතා යෝධයාගේ කතා පුවත බොහෝ දෙනා දනිත්.. ගැමි වහරේ කටින් කට ආ ඒ පවත නො දන්නේ නම් ඒ මෙසේය.. මෙකල මහියංගණ දාගැබ අඩි 120ක උසින් යුතුව නිමවනු වස් දුටුගැමුණු රජු මහියංගණය අසබඩ රැඳී සිටි සමයයි.එළාර සමග යුද්ධය රට තුලට නෙරමින් පවතින වකවානුවක යෝධයින් සොයා ගම් නියම් ගම් පිරූ කලෙකි ඒ. බුලතා යනු දුෂ්ඨ ගාමිණි ලෙස ප්‍රකටව දුටු ගැමුණු ලෙසින් කිරුළු පලන් කාවන්තිස් රජුගේ දෙටු පුත් හට බුලත් සැපයු ගැමියෙකි. දෙවේලක් අතර මැද ලැබෙන විවේකය අපතේ යනු දරාගත නොහැකි වූ හෙතෙමේ තමා එන මග පසු කොට ආ දියවන්නා ඔය දෙකොන යාකරන්නේ වැවක් තැනීමටත් වඩා විවේකය පලදායි ලෙස යොදා ගත යුතු ලෙස හැඟුණු නියාවෙනි. ගල් පවුරක් බිඳ එදා මෙදා තුර ලංකාවේ නිම වූ එකම ගල් සොරොවුව නිමවා වැවක් ලෙස එය නිමවිය. තනි ශ්‍රමයෙන් ඉදිවූ ලංකාවේ එකම වැව ලෙසද ඒ ඉතිහාසා ගතවේ. කටින් කට පැතිර ගිය පුවත කන වැකුණු දුටුගැමුණු රජු පවත් විමසා බුලතා හා සොරබොර වැවු ඉස්මත්තට පැමිණ දකින දර්ශනයෙන් මහත් පුදුමව, ඔහු විමසා මේසා විසල් වැවක් කරවීමට උදවු වුවෝ කවරහුදැයි අසත්, විශාල සිංහල උදලු තලයකුත් එහා සමව යන සවිමත් කුඩයකුත් පමණකි හේ කියති. ඉන් මහත් සතුටට පත්වන රජු බුලතා යෝධයෙකු ලෙස හඳුන්වා බුහුමන් කොට තම සේනාවට බඳවාගත් බව කියවේ. අනු කතාවක් ලෙස බුලතාගේ ඇබේනිය ද යෝධ කාන්තාවක ලෙස ප්‍රවාදයන්හි දැක්වේ. අද රන්දෙණිගල මාවත ලෙස හඳුන්වන නුවර මහියංගණ මාර්ගය තැනෙන්නේ ඈ අතිනි. කතාව එසේ වහරේ දැක්වෙද්දී.. ග්‍රන්ථාරුඩ විකාශයේ එය දැක්වෙන්නේ වෙනත්ම අයුරකිනි. එක්දහස් අටසිය ගණන්වල ලංකාවේ විසු ආර්. එල් ස්පිටල් නමැති ලේකකයාගේ පොත්වල දැක්වෙන අයුරින් පහත පරිදි වේ. බුලතා වැව නිමවූ විට ඉරිසියාවට පැමිණෙන දුෂ්ට ගාමිණි රජු, මහියංගණ දාගැබ නිමවීමේ ගෞරවය ඔහු පවරාගෙන වැව තැනීමේ නම්බුව තමාට දෙන ලෙස ඉල්ලාසිටි. එයට අකමැති වන බුලතාගේ හිස ගසා මරාදමන රජු හිස වැවට විසි කර දමයි. ශ්‍රී ලංකාවේ සමුර්ධිමත්ම ඉතිහාසය හිමි කලෙක එහි විශාල ප්‍රතිශතයකට නොබිනිය හැකි හිමිකම් කියන දුටු ගැමුණු වැනි රජෙකු එය එසේ කලේ යයි සිතිය හැක්කක් වෙයි සිතීම වටි. නමුත් බටහිර රටවල ඉතිහාසයට එබිකම් කරන ඕනෑම අයෙකුට තමාගේ නම වඩා ගැනීමට අනෙකෙකු පෙලූ රජුන් හා ප්‍රභූන් ගැන මේ හා සම කතා ඇති තරම් සොයා ගත හැක. ලංකාවේ ඉතිහාසය රචිත මෙවන් කෘති ඒ මානයෙන් ලංකාවේ රජුන්ද මන බැලු බවට මෙය කදිම නිදසුනකි. ඉතින් විකාශය ඉතිහාසයට කෙතෙක් බලපාන්නට ඇත්දැයි සිතාගත හැකිද ?

Tuesday, November 15, 2016

කඩුපුල් ගස..

පෙරුම් පුරා වසක් පුරා
බිඳෙන් බින්දේ සුවඳ කවා
පිබිදු මල හිරුට හොරා
ධවල හසින් පෙති සරසා
ආඩම්බර විඳගන්නට
මොහොතක් වත් නොදී කඩා
බුදුන් පුදට රැගෙන ගියා
ගස වැළපෙයි මතින් නුරා.





Thursday, November 3, 2016

හිඟන්නා

සවසක නැගුනු ගත දහදිය වකාගෙන
නවාතැනට ඇදෙනා මග මා යනෙන 
කොලයක් එලා බිම හිඳගෙන  මා යදින 
හිගනෙක් අසල නැවතුණි දානයේ අටින. 

දෑසම නොපෙනෙනා ගැහැණිය රැක ගන්නේ
පින්වත් මහතුනේ යම් මුදලක් දෙන්නේ 
පෙන්නා අසල උන් ගැහැණිය බඩගින්නේ 
ඔහුමා දෙපා අබියස හිඳ වැලපෙන්නේ 

මුදල රැගෙන මා දුන් එය සිප සොඳින 
මහතුනි නිවෙයි දුක් ගිනි යයි ඔහු පතන 
නෙත් අඳ ඇගේ අත ඒ කාසිය තබන 
ඔහු දුටු මගේ නෙතගට කඳුලක් නැගිණ.

ඇති වුන කුහුල තද වැඩි සිත දරන්නට 
සිතුනා තවත් මේ අය දෙස බලන්නට 
නැවතී මදක්  අසලක නොම පෙනෙන්නට 
පසු පස ගියා යන එන මන් සොයන්නට 

සුදු පැහැ කෝටුවට බර නැත  එය වැනින
සැමියා අතින් ඇගේ කනවැල සරි කෙරින 
දෙපලම එක්ව බත් කඩයට ගොඩ වැදුන 
එලවලු කෑම දෙපතක මිල එහි රැදුන

දකුණට හැරී මහ පාරෙන් සැම යනෙන 
මද දුරකිනිය නිවහන මොවුන්ගේ රැඳුන
ඉටිකොළ වලින් සවිකොට වහලය නැගුන 
සෙල්ලම් ගෙයකි ඒ දුටු මා සිත ඇඳුන

හිඳුවා බිරිඳ එහි ඇති ගල් කුලක් මත 
සැමියා තනයි තෙල් පහනක්  මිදුල මත 
දල්වා පහන දුරු කර හැර අදුර වත 
ඈ හා දොඩයි දවසේ ඔහු දිවි පෙවත 

මුකුලිත සිනා කැන් දෙපලගේ මුව රැඳුන
සිත් ඔවුනගේ පොහොසත් බව මුර ගාන
ඒ දෙස බලා සොම්නස ගෙන හිත පිරුන 
ආපසු හැරී මම මා නිවසට ඇදුන.

කුලී නිවහනේ දොර ගුළු ඇර ලාන 
සුව පැහැ පිරුණු තනි සයනයේ ඇනබාන 
තනිකම දැනෙද්දී සිත තුල නලියාන  
මා නේ සිගන්නා නොවේදෝ මට සිතුන. 











Sunday, October 30, 2016

මාලු

    "අනේ තාත්තේ අපි යමුකෝ මාලු අල්ලන්න. ඔයා ගිය සතියේ කිවුව අද යනවමයි කියල". 

   පුතාගේ ඇවිටිල්ලේ නිමක් නැත. වදයෙන් බේරෙනු පිණිස කටට ආ ලෙස කියුවද මාලු ඇල්ලීමක් ගැන මම සිහිනෙනිදු සිතා නැත්තෙමි.

    කොහේ හෝ පොතක ලියා තිබු මාලු ඇල්ලීමේ වරුනාව ලියු තැනැත්තා ගැන මට ඇති වුයේ අසීමිත තරහවකි. තවම හතර වසරේ උන් පුතාගේ මනසට එය විසිතුරක් සේ වද්දන්නට ඔහු කෙසේ නම් සමත් විද යන්න තවමත් මට සිතා ගත නොහේ.

"ඉතින් පුතේ කෝ අපට බිලි කොකු.. " 
      ප්‍රශ්නය මග හරින අටින් මම කීවෙමි. වහා කාමරයට දිවගිය පුතු කොළ කැබලි කිහිපයක් ගෙන නැවත දිව ආවේ සිනා මුහුණෙනි. ඔහුගේ අත් අකුරින් සහ රුප සටහනින් නිමවුණු කොළ කැබැල්ලේ බිලි කොක්කක් සාදාගන්නා ආකාරය පිලිවෙලින් ලියේවි තිබිණ.

"මම ඊයේ චන්දරේ මාමාගෙන් අහගත්තා. ඉතින් අපි යමුකෝ එකක් හදාගෙන." 

ගැලවිය හැකි එකම මාර්ගයද ඇහිරී ගිය මම අසරණව බලා උන්නෙමි. 

"හා  හා  දැන් මේ හවස කොහේවත් යන්න ඕනේ නෑ. අද හවස අපි මහ ගෙදර යන්න ඕනේ." 

මගේ ගැලවුමට ආ සමන්ති දිව්‍යාංගනාවක් සේ මට දැනේ.

"අනේ අම්මේ තාත්ත පොරොන්දු උනානේ.."

"හරි හරි මම තාත්තට කියන්නම් කෝ හෙට යන්න කියල.. දැන් යන්න ඇග හෝදගන්න ඕනේ .. බලන්න නටල නටල හැටි"

"හරි එහෙනම් අපි කිරිඅම්මලගේ ගේ ගාව කඩෙන් බිලි කොක්කක් අරන් එමු.. එහෙන්ම කෝටුවකුත් කපාගත්තකි නේද අම්මේ" .. 

අද දවස නිදහස හෙට පෝරකයට යන තෙක්ය, කියමන මා සිතට නැගිණි. මම කිසිත් නොකියා නැසූ කන්ව පුවත්පත දිගහලෙමි.

"ඕව හරි පවු වැඩ පුතේ. මාලු අලනවා කියන්නේ සත්තු මරණ එක.. ඒක මහා පවු වැඩක්" 

සමන්ති පුතුගේ හිස අතගාමින් ඔහු අසලට ගෙන උකුල මත වාඩි කරගත්තේය.

"අනේ හැමදාම නෑනේ අම්මේ.. අනික අපි උන්ව වතුර එකකට දාගෙන එමුකො එතකොට මැරෙන්නේ නෑනේ. මට ඕනේ උන් කෝ වගේද බලන්න විතරනේ. " 

"අනික බලන්න ලැජ්ජාවේ බෑනේ බිලි කොක්කකුත් අරන් මාලු අල්ලන්න යන්න.. හොදට හිටි තාත්තගේ ඉස්කෝලේ ළමයි එහෙම දැනගත්තොත්." 

සමන්ති දෙවන තර්කයද දිගහැරියාය.

මා හා ඈ වුර්තියෙන් ගුරුවරු වීමු. මේ ගුරු නිවස නිවහන කොටගෙන අප මහා ගෙදරින් වෙන්ව දැනට වසර 4කි. සමන්තිගේ මේ තර්කය සැබවින්ම මාද සසල කළේය. "නිහාල් සර් ඔයේ මාලු අල්ලන්න ගිහිල්ල" පාසලේ ළමුන් කතාවෙනු මට මැවී පෙනේ.

"ඉතින් අම්මේ චන්දරේ මාම යන්නේ මාලු අල්ලන්න.. එයා ඒවා විකුනන්නෙත් එක්ක හයියෙන් කෑගගහ. එයා ලජ්ජා නෑනේ. අනේ අම්මේ"

වුර්තිය බේදය හා සමාජ තරාතිරම තේරුම් ගත නොහැකි පිරිසිඳු ළමා වියේ දරුවෙකුට, එය පහදන්නට යාම නොකට යුතු නොව නොකළ හැකි කටයුත්තක් බව මා මෙන්ම සමන්තිද දැන උන්නෙමු.

"හරි හරි ගිහින් ඇඟ හොදගන්න දැන්."

පුවත්පත මදක් පහත්කොට, හරි පිළිතුරක් නොලැබීමේ නොමනාපයෙන් කාමරයට යන පුතු දෙස බැලු මා පුවත් පත පහතලිමි.

"ඔයා තමා වරද්ද ගත්තේ. ඒ වෙලේම ඕක වැරදි වැඩක් කිවුවනම් ඉවරනේ. ගියා මෙතන මාලු අල්ලන එක තවත් රස කරන්න. දැන් ඉතින් කනක් ඇහෙන්න වෙන්නේ නෑ එක්ක යනකන්" 

සමන්ති නොමනාපය නොසඟවා පිට කළේය.

      සවස ටියුෂන් පන්තියකට ගොස් පැමිණි මා නිවසට ගොඩ වූ විගස දිව ආ පුතු මා හට සම්මුක වී නැගු මාලු ඇල්ලීම හා සම්බන්ධ සියලු පැන වලට මම නොපැකිලව හා රසවත්ව පිළිතුරු දිනිමි. ඔහුගේ අවසන් ඉල්ලීම ඉවත දැමිය නොහැකි අඩියකය මා සිටියේ. පොතකින් ලද දැනුම තහවුරු කරනු වස් අහුගේ නිසඟ උත්සාහය බැහැර කිරීමට සිත් නුදුන් නිසාවෙන්, එය මග හැරීම පිණිස, මා බලා පොරොත්තු දනවන පිළිතුරක් ඔහුවෙත පෑවෙමි. කාලයත් පාසල් සහ සෙල්ලම් කටයුතුත් එය ඔහුගේ මතකයෙන් ඉවත්කරනු ඇතයි මා අද වන තුරුත් සිතා සිරියෙමි. එහෙත් ළමා මනස ගැන මා ළදරුවෙකි. එය තහවුරු වී හමාරය.

     මහ ගෙදර ගොස් පැමිණි පුතු අතේ සම්පුර්ණයෙන් සාදන ලද බිලි පිත්තකි. අක්කගේ පුතු ලවා ඔහු එය සදවාගෙන ඇත. වැඩි ප්‍රවෙසමට බිලි කොකක ගලවා හිස් ගිනි පෙට්ටියක දමා දෙන්නට ඔහු අමතක කොට නැත. වඩා දිග ලියක් වෙනුවට කෙටි කුරටිය පොලු කැබැල්ලක එතු තංගුස් නුල අතර තැනෙක වියලි බට පතුරකින් තැනුනු ඉප්පිල්ලක්ද සවිකර තිබේ.

නිවසට පැමිණි වහා බිලි පිත්ත හා බිලි කොක්ක සහිත ගිනිපෙට්ටිය ඇඳ අසලම තැනෙක තැබූ පුතු නැවත දිව ආවේය.

“තාත්තේ හෙට උදේම යමු. චන්දරේ මාම කිවුව ඔයේ පහල මාලු ඉන්නේ උදේට කියල.”

“හා හා දැන් ගිහින් නිදියගන්න.. කෝ දත් මැදල කකුල් සෝදාගන්න” සමන්ති ඔහුට හරස් විය.

ප්‍රශ්න පත්‍ර කිහිපයක පිළිතුරු පරික්ෂාවට කාලය වැයකළ මා නිදන්නට මොහොතකට පෙර පුතුගේ කාමරයට හිස යොමු කලෙමි. සුව නින්දේ පසුවන ඔහු අසල පෙනෙන මානයේ බිලි පිත්ත තබා ඇත.
මම කාමරයට ආමි.

“ආ ඔයා තාම නිදි නැද්ද”. 

තවමත් නොනිදා ගෙතුමක නියැලෙන සමන්තිගෙන් මා විමසීමි.

“නිදිමත නෑ තාම.  එනිසා ඔයා එනකන්ම හිටිය. ඉවරද බලල.”

“හ්ම්ම් නෑ තව ටිකක් තියනවා. එක නෙමේ මම මේ කප්ලනා කලේ හෙට මේකව කොහොමද මාලු අල්ලන්න ගෙනියන්නේ කියල.” 

මම දැවෙන පැනය ඈ වෙත පෑවෙමි.

“අනේ මන්ද හෙට නම් යන්නම වෙනවා. හැබැයි මෙපාරනම් ඕක හොද නැති වැඩක් කියල කියල දෙන්නම ඕනේ හොදද ?”. 

තරවටුවක ලීලාවෙන්ය ඈ මාවෙත පවසන්නේ.

“කියල දෙන එක නෙමේ මම මේ කල්පනා කරන්නේ. අදුනන කවුරු හරි එහෙම දාකොත් වසල හමාරයි. ඇර ඉන්දු ලගේ ගෙවලුත් ඔය ගාව. මුළු ගමම ගිනි තියාවි පැයකින්. ආයේ ඔලුව සරමෙන් වහන් තමා යන්න වෙන්නේ.”

“ෂාහ් මාරු එකට තියෙයි නිහාල් ඉස්කෝලේ මහත්තය සරම ඔලුවේ දාන් ඉස්කෝලේ යනකොට” 

කෝල ලෙස සිනාසුනු සමන්ති මගේ උර හිසින් තල්ලු කර දැමුවාය.

“ඔයානම් හිනාවෙයි. මම එපාය යන්න.” 

නොමනාපයෙන් ඈ දෙස බැලුවද අගේ මේ ගතිය මා ඉතා ප්‍රිය කලෙමි. ඕනෑම වෙහෙස කර අවස්තාවක් සමනය කරන කලාව ඈ ප්‍රගුණ කර සිටියාය. අගේ සිනහවත් ප්‍රහසනයේ ඇති හැකියාවත් ඊට සරිලන කළමනාම විය.

“යමු මමත් එන්නම්, අපි ඔයට නොයා වැවට යමු හුග දවසකින් ගියෙත් නෑනේ. අනික මටත් බැරිය නිහාල් ධිවර මහත්තයාගේ වැඩ බලන්න.” 

ඇගේ අදහස මා සිත් ගති. ගුරු නිවාස සහ පාසල පිහිටි ඉසවුවෙන් සෑහෙන එපිට පිහිටි වැව අසල මානයේ මා දන්නා හදුනන කිසිවෙකු නැත. නොදැන යමෙකු සිටියද එවන් පණිවිඩයක් පාසලට එන්නට තරම් සුදුසු පසු බිමක් ගොඩනගේයි සිතීම උගහටය.

“ෂාහ් ඔයාගේ මොළෙත් වැඩ කරනවා එහෙනම්..” 

සිතට නැගුන සතුටත් සමග කොලොප්පමකින් මා ඈ පැසසිමි.

“ඇයි මට මොලේ නැද්ද ? ඔවු ඉතින් මොලේ තිබ්බනම් මම මෙයාව කසාද බඳිය.” 

නොමනාපයෙන් හා හසින් යුතුව ඈ මගේ කොලොප්පම පිළිගත්තාය.

“තාත්තේ නැගිටින්ඩෝ”

  වෙලාව උදෑසන හත පසුවන්නට නැත. පුතුගේ හැඳින් මා අවදි උනෙමි. සමන්ති උදෑසනම අවදි වන්නට ඇත. තේ කෝප්පය රැගත් ඈ මාවෙත පැමිණියේ සුපුරුදු කලබල රහිත ගමනිනි. සතියේ දිනවල උදෑසනින් අවදිවන ඈ මාද අවදි කරතත් සති අන්ත වල බොහෝ විට එය සිදු නොවේ. සෙනසුරාදා ඉරිදා දිනවල බොහෝවිට මා අවදි වන්නේ අටේ කණිසමට නුදුරුවය. එහෙත් ඈ සුපුරුදු පරිදි අවදි වේ. සමහර දිනවල මා අවදි වන විට ඈ උදෑසන අහාරයද සුදානම් කර අවසන්ය.

“ඔය ඉතින් තාත්තට නැගිටින්න දෙන්නකෝ ළමයෝ. යන්න මුණ සෝදාගන්න. ”

“අනේ තාත්තේ අපි උදේම යන්න ඕනේ නැත්නම් මාලු නැතිවෙයි.”

“හරි හරි අපි උදේම යන්න ඕනේ ඔයාට යනවනම් නේ අපි යන්නේ වැවට. වැවේ මාලු ඕනේ වෙලාවක ඉන්නවා.” මම ඔහු අස්වසාලනු වස් පැවසීමි.

“හුරේ අපි වැවට යනවා .. ” ඔහු ඇඳ මතට පැන මා වටා නටයි.

    උදෑසන ආහාරය ගෙන පිටත් වන අතින් මාත් සමන්තිත් කටයුතු සුදානම් කළෙමු. වසරකට පමණ පෙර මිලදීගත් හොන්ඩ මෙට් වර්ගයේ මෝටර් සයිකලය නිවසේ කටයුතු වලට මනාව පිරිමසුනි. දිගු ගමන් සුලබනොවූ සමන්තිගේ සහ මගේ සරල දිවියට බයිසිකලය බොහෝකොට සෑහින. ඇරත් රෝද හතරක රථයක් පිලිබඳ සිහිනයක්ටවත් අප දෙදෙනාගේ පඩිපත නොසහුණු බව අප දැන සිටියෙමු. මේ මේ නිසාවෙන්ම එක්තරා පරිස්සම් ශීලි හැඟීමක් බයිසිකලය කෙරෙහි අපතුල විය.

    කුඩා හිස් ආවරණයක් පැළඳ වූ  පුතු සමන්තිත් මාත් අතර හිඳුවා කළමනා සියල්ල ඉදිරිපස කුඩයේ රැඳවීමි. වතුර බෝතලයක්, සමන්ති විසින් සකසන ලද පාර්සලයක් සහ බිලිපිත්ත ඒ තුල විය. බිලි කොක්ක සහිත ගිනි පෙට්ටිය වැඩි ප්‍රවෙසමට සාක්කුවේ රන්දවාගතිමි.

“අපි යනගමන් පාන් බාගයක් අරන් යමු ඇම විදිහට හයි කරන්න.”.

   ඇම වෙනුවට පනුවන් සවි කරනු තබා මලු ඇල්ලිමටවත් අකමැති වූ මා පාන් යොදා මාලු ඇල්ලීම තොරාගත්තේ සිතට දැනෙන වැරදි සහගතවබ අල්ප මාත්‍රයකින් හෝ අඩු කරලීමේ පරම අටියෙනි.

    වැවු පිටියේ මෝටර් සයිකලය ඇතුළු කරන විට උදෑසන 9.30 පමණ වන්නට ඇත. සෙවන ඇති තැනක් සොයා වැවු ඉහත්තාවට පැදවූ මා තවත් බයිසිකලයක් නවතා ඇති තැනක් දැක එතැන නැවතිමි.

 පෙනුමෙන්ම ධීවරයෙකු බව කිව හැකි තලතුනා අයෙකු දිගු බිලිපිත්තකින් මාලු බාන ආකාරය මට පෙනුනි. මා දෙස බලු ඔහු මද සිනහවක් නැගිය.

“මාලු අහුවෙනවද අයිය..” 

මම හඬ අඩුකොට ඔහුගෙන් විමසුවේ ඔහුගේ කටයුත්තට බදා නොකිරීමේ අටියෙනි. එහෙත් ඉහුට එහි වෙනසක් නොවිය.

“මෙහරියේ මාලු ඉන්නවා මහත්තය.. මොකෝ මාලු අල්ලනද ?” 

ඔහු සාමාන්‍ය කට හඬින් මාත් බිරිඳත් දරුවාත් දෙස බලමින් ඇසිය.

“ඔවු මේ පුතාට මාලු අල්ලනවා බලන්න ඕනෙලු. ඉතින් එක්ක අවා” 

මම සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි. හදිසියෙන් ගැස්සී ගිය බිලිපිත්ත වහා ඇදගත් ඔහු එහි අමිනි සිටි කොරලියෙකු ගලවා පසෙක රඳවා තැබූ මල්ලට හෙළිය.

“අන්න දැක්කද තාත්තේ අනේ අපිත් අල්ලමුකෝ.”

බිලි පිත්ත කෙලවර බිලි කොක්ක ඇමිණු මා පාන් කැබැල්ලක් පොඩිකොට එහි ඔතනු දුටු ධිවර තෙමේ ඒ දැක සිනාසී

“ඕක නම් හරියන්නේ නැහැ මහත්තය මුන් ඕක කාල සුරුස් ගාල මාරුවෙයි. පනුවෝ ගහන්න බැරිනම් ඔය අට්ටික්ක මදයක් ගහන්න”  යයි උපදෙස් සැපයිය.

වැවු ඉවුරට ආසන්නයේ සුලබ ගසකි අට්ටික්ක. පත්වූ ගසකින් ගෙඩි කිහිපයක් කඩාගත් මා ඉන් එකක් තීරුවක් සේ පලා බිලිකොක්කට ඇමිනිමි. පරිසරය නිසලය.. කිසිවෙකු කිසිඳු හඬක් නොනන්වයි. ඉඳ හිට නැගුනු සුළගේ සිලි සිලියත්, කුරුළු කුජනයක හඬත් හැරුණු කොට නිහැඩියාව බිඳී එකම හඬ  පෙතියෙකු හෝ දන්ඩියෙකු දිය මතුපිටට ගැසූ කරණමක ජබුක් නාදය පමණි.

මා නිහඬව ජලයේ පාවෙන ඉපිල්ල දෙස බලා සිටිමි. මා පිටුපසින් සිටගත් පුතාගේ කරමත දෙඅත් තබා ගත්  සමන්තිද නොසැලෙන දෙනෙතින් යුතුව බලාසිටි.

විනාඩි කිහිපයක් ගතවන්නට ඇත. හදිසියේ දැනුනු සෙලවීමකින් පසුව ඉපිල්ල ජල තලය තුල නොපෙනී ගියේය.

“මහත්තය අදින්න එපා”

 මා අසලම උන් ධිවරයාගේ හඬත් මගේ ඇදීමත් එකවිටම සිදුවුවකි. මට එය වලකා ගත නොහැකි විය.

“ඇයි ? ” 

මම ඔහු විචාළෙමි.

“මහ හුන්ගෙක් වැදුනේ දැන් ඉතින් කොරන්ඩ දෙයක් නෑ ඔන්න ඔහේ ගන්ඩ මහත්තය මන් ගලව දෙන්නං. ”

ඔහුගේ බිලිපිත්ත අත්හල තෙමේ මා අතාවු පිත්ත රැගෙන එය උඩට ගන්නට විය. සැබවින්ම මා දුටු ජුගුප්සා ජනකම මාළුවා ඒ විය. අඩි දෙක හමාරක් පමණ දිග කළු පැහැ මාලුවෙකුට වඩා සර්පයෙකු වැනි මසෙකු බිලිපිත්තේ ඇමිනි තිබිණි.

මාත් සමන්තිත් පුතාත් එකසේ තුෂ්නිම් භූතව බලා හුන්නෙමි.

“ඊ ඒ මොකෙක්ද ඒ” සමන්ති පිලිවසා සිටියාය.

රවුද්‍ර මුහුණක් සහ රතු පැහැ පැහැදිලි දෑස් යුගලක් හිමි මත්සයාගේ මුව වටා රවුල් ගස් මෙන් පිහිටි ගනකම කෙඳි හතර උගේ දරුණු පෙනුම තහවුරු කෙරිය. වඩාත් පුදුම සුළු වුයේ උගේ ගොඩ පැමිණීමත් සමග නිකුත් වන්නට වූ “චියාවූ” හැඳින් සිදුවන හඬ ගෑමයි. මා මසෙකු හඬ නගනවා දුටු පළමු වතාව ඒ බව කිව යුතුමය.  සැබවින්ම ඒ මත්සයා නිකුත්කළ හඬක් බව සිතාගන්නට සුළු මට වෙලාවක් ගතවිය.

වහා මත්සයා බිම හල ධිවර තෙමේ  බිලිපිත්තේ නුල ගලවා අසල පඳුරක පටලවාලිය. බිම වටුණු පසු මත්සයෙකුට වඩා සර්පයෙකුගේ කඩිසර කමින් සහ ගමනින් නැවත කල තලය දෙසට ඇදෙන මත්සයා දෙස අපි සැවොම බලා සිටියේ බියත් හිරිකිතයත් මුසුවූ ගුප්ත හැඟීමකිනි.

“හරි රස මාලුවෙක් මහත්තය හැබැයි හැරීම අමාරුයි බේරෙන්න. පේනවනේ දඟලන දැගලිල්ල. අනික මේකාගේ දල පාරක් වැදුනොත් යේ හත් දවසකට උන බහින්නේ නෑ”

බැඳ දැමු තන්ගුස්පට ටිකෙන් ටික කෙටි කරමින් ධිවර තැන පවසද්දී අපි තව තවත් උගෙන් ඈත වීමු. පුතුගේ වෙවුලිම අතට දැනුනු නිසාවෙන් මම ඔහු වඩා ගත්තෙමි.

“පුංචි මහත්තය බයවුනාද ? හෙහ් හෙහ්.. එහෙම තමා මලු අල්ලන රස්සාව ලේසි නෑ.. මේ මාළුවා ගෙන් කට්ට බේරගන්න යන එක හැරීම අවදානම් වැඩක්. යේ මු ගොඩ උන්න කියල මැරෙන එහෙකුත් නෙමේ.. දවස් ගානක් ගොඩ හිටියකි.” ඔහු තවත් විස්තර එක්කරයි

“තාත්තේ අපි යමුකෝ” 

හැඩුම් බර හඬකින් නැගුනු පුතාගේ ඉල්ලීම නොවුවද ඒ ස්ථානයෙන් වහා ඉවත්විය යුතුයි මටද සිතේ.

“කට්ට නම් නැතුවට කමක් නෑ දැන් මේකට මොකද කරන්නේ”.මම මගේ පැනය නිදහස් කලෙමි.

“මහත්තයලට ඕනේ නම් මම මුව කපල දෙන්නම් ගෙදර ගෙනියන්න.” . 

මාළුවා ගේ කෙටි වූ නුල අසලින් එල්ලෙන ලෙස අල්ලා පාමින් ඌ නගන “චියාවූ” හඬ අතරින් ඔහු පැවසිය.

“අනේ එපා. අපිටනම් එපා” 

සමන්ති වහා ඉදිරිපත් විය.

“ඔවු ඔවු ලොකු උන්නැහේට ඕනෙනම් ගන්න. නැත්නම් වතුරට දාන්න” 

මම වහා ඔහුට පැවසීමි.

“එහෙනම් මම අරන් යන්නම්” 

සිනා මුසු මුහුණින් පැවසු ඔහු මාළුවා මල්ලට අතහැර ඔහුගේ බිලිපිත්ත අතට ගත්තේ යලිත් තම කාර්ය අරමුණු කොට ගනිමිනි. මල්ල තුල පන ගැහෙන අනෙකුත් මාළුන් අතර නලියන දඟලන හුන්ගාගේ හඬ නැවත නැගී ආයේය.

“අනේ අපි යමුකෝ.. ” පුතා හඬන්නට පටන් ගත්තේ ය. “අනේ අම්මේ යන්කො..”

නිවසට පැමිණෙන තෙක් කිසිවෙකුත් වචනයකුදු කතා කලේ නැත. නිවසට පැමිණි වහා ඇඳට නැගුනු පුතු සුව නින්දකට එළඹියේ ගමන් මහන්සියටත් වඩා සිතේ මහන්සිය නිසා යයි මට සිතේ.

“අම්මේ ඇති ඔයින් ගියා. මට තාමත් ඇහෙනවා වගේ ඒ මාළුවාගේ සද්දේ” 

මම කිසිත් නොකීවෙමි. බයිසිකලයේ කුඩයේ තිබු පාර්සලය රැගෙන ආ සමන්ති ඉන් රැගත් පාන් පෙති දෙකක් මා අත තැබීය.

රෑ නින්දෙන් කිහිප වරක් බියවූ පුතුට සමන්ති අසල නිදන්නට ඉඩ හැර මම ඇඳේ අනෙක් පසට වීමි.

“හැබැයි මෙපාරනම් ඕක හොද නැති වැඩක් කියල කියල දෙන්නම ඕනේ හොදද ?” 

සමන්තිගේ තරවටුව මගේ සිතට නැගෙයි. තවත් එය වලංගු නොවෙන බව ඈ මෙන්ම මාද දනී.

Sunday, October 16, 2016

ඩොල්කි කාරයා

          කොළඹ කොටුවෙන් ගමන් ඇරඹු සීග්‍රගාමී බදුලු දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානය පසු කරනු මගේ මතකයේ යන්තමින් අඳි ඇත. මගේ නින්ද බිඳී ගියේ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ ශබ්ධ විකාශන යන්ත්‍රයේ නාදයෙනි. ඒවන විටත් දුම්රිය නැවතී විනාඩි කිහිපයක් ගතවන්නට ඇති බව මට සිතේ.

       මා අසල සිටි අනෙක් මගියා අසුනේ පෙනෙන්නට නොවිය. අසුනේ කොනක දුම්රිය මැදිරියේ බිත්තියටත් මගේ සිරුරටත් මැදිවී විකුර්ති හැඩයක් ගෙන තිබු වතුර බෝතලයෙන් උගුරක් කටට හලා ගත මා ඉන් බිඳක් මුහුණ මත විසිර වුයේ නිදි මතෙන් බරවූ දෙනෙත් පිසලන්නටය.

     බුලත් විටකින් කට පුරවාගත් මගේ අසුන් සගයා නැවත දුම්රියට ගොඩවූයේ දුම්රිය බැරි බැරියේ ගමන් අරඹන මොහොත හා සමව යමිනි. ගමනේ මුලදීම හුවමාරු වූ වචන දෙකතුනකින් ඔහුත් මාත් අතර සුළු හිතවත් කමක් ගොඩ නැගී ඇත. විට පිරුණු කටින් මද සිනහවක් නැගු ඔහු,

“මහත්තය හොදටම නින්ද ගියා නේද ?” 
යයි ඇසුවේ සරල අව්‍යාජ ගැමියෙකුගේ සුහද බව මොනවට විදහා දක්වමිනි.

“ඔවුනේ අයිය පොල්ගහවෙල පහුවෙනව විතරයි මතක.”

       වයසින් විසි අට වියැති මා 50ස් විය ඉක්මවියයි සිතිය හැකි ඔහුට අයියා ලෙස ඇමතීම සැබවින්ම විහිළු සහගතයයි ඔබට සිතෙනු නොඅනු මානය. පොළොන්නරුවේ ගැමි පියසක, වෙළෙන් දොලෙන් බිහි වැද, බුද්ධි ගලනයේ සැඩ පහරෙන් කොලොන් තොටට විසි වූ මා හට, ගැමි කමේ සාපයෙන් ලැබූ කසපහරක මතකය, මාමා අයියා වීමේ කතාව පසු කොට ඇති බව ඔබට කියනු කැමැත්තෙමි. නැන්දා අක්කා වන්නේද ආච්චි ඇන්ටි වන්නේද යට කී පසුබිම තුලමය.

      මා මෙන්ම ගැමි ජීවිතයකට උරුමකම් කියන නිසාවෙන්දෝ අයියා ලෙස ඇමතීම ඔහුට අපහසුවක් ගෙන ආ වග ඔහු කෙරේ සටහන් විය.

“අහා හා .. එක තමා මම උන්න පුතා මගින් බහිනවා කියල.”

        ඔහු මාගේ වරද නිවරද කළේය. ඒ ඔහු මා පුතා ලෙස ඇමතු එකම හා අවසාන අවස්තාව බව මා මතකයේ ඇත. එතැන් පටන් ඔහුට මා මහත්තයා හෝ පුංචි මහත්තයා විය. මට ඔහු මාමා ය. බුලත් කෙල ගැසීමේ පහසුව පිණිස මම මගේ ජනේලය අසල අසුන ඔහුට පිරිනැමිමි. විවිද මාතෘකා ඔස්සේ ඇදුනු කතා අනුව ඔහු ජිනපාල නම් අව්‍යාජ ගැමියා බව මා තව තවත් පසක් කර ගතිමි.

          ආගිය කතා අතර ගෙවුණු පැයක පමණ කාලයකට පසුව ඔහු විට අලුත් කිරීමට අඩුම කුඩුම සකසන්නට විය. සෝදා කණපිට හරවාගත් කිරි පැකට්ටුවක් යයි අනුමානයෙන් කිවහැකි ඊයං පැහැ උරයක පිළිවෙලට බහා තිබු බුලත් පුවක් හුණු දුන්කොල ගොන්න සීරුවට ලේහමින් ආසනයේ ඔහුත් මාත් අතර ඉඩෙහි තැබූ ඔහු, විට මඩිස්සලේට ඉඩ දීම පිණිස අසුනේ හැකිතාක් කෙලවරට විය. එහිම වූ වක ගැසුණු කුඩා පිහියකින් තැඹිලි පැහැ පුවක් ගෙඩියක් ඒදන අයුරුව ඔහුගේ ඒ කර්තවයේ ඇති පළපුරුද්ද මොනවට කියා පෑවේය.

“මටත් දෙන්ඩකෝ මාමේ විටක්..”

විට රසය කිසිවිටෙකත් මාහට නුහුරු නොවේ.

“හප්පද බෝල මහත්තය විටත් කනවා....? කන්ට කන්ට .. ඉන්ට මම පුවක් ගෙඩියක් එදන්ට .. මේ ගෙඩිය ලා වැඩි”..

        මා බුලත් කොලයේ මුල හා අග කඩා හුණු තවරනු ඔහු බලා සිටියේ පුදුම වුවෙකු මෙනි. ඔහු දුන් පුවක් කැබැල්ල කටේ දමා හපමින් බුලත්විට කටේ දමා ගත මා ඔහු දෙසට හැරෙන විටත් ඔහුගේ බැල්ම එලෙසම තිබෙනු මා දිටිමි.

“මොකෝ මාමා පුදුමෙන් වගේ”..

“හා හා නෑ මහත්තය කොලබ මහත්තයෙක් ඔයතරම් සීරුවට විටක් හපනවා දැක්කමයි මම..” 

ඔහු පුදුමය ඍජුවම ලිහා හරියේ බිඳකුදු නොසගවමිනි.

“කවුද මාමට කිවුවේ මම කොළඹ කියල.. මගේ ගෙවල් පොළොන්නරුවේ .. මම වැඩ කරන්නේ කොළඹ..” සිනහව අතරින් මම ඔහුගේ පුදුමය දුරුකලෙමි..

“එහෙනං ... මන් එත් බැලුව.. මයේත් නංගි කෙනෙක් ඉන්නවා පොළොන්නරුවේ වැලිකන්දේ ..” 

ඔහුගේත් මගෙත් කතාව යලි පන පෙවී ඇත.

       ගමේ කෙලවර කඩේක පිලක සවන්දෙන්නෙක් වීමේ අවස්තාව බොහෝවිට මා ලබා ඇත්තෙමි. පත්තරයේ කොනක තිබෙන පුවතක්, ගමේ කෙනෙකුගේ විපතක් හෝ සැපතක් අරඹයා ගොඩ නැගෙන මෙවන් කතා පැය ගණන් අති ශෝක්තිය, හාස්‍ය , භීතිය සහ විටෙක සෘන්ගාරයත් කැටුව දළුලා වැඩෙන්නේ. බොහෝවිට මෙවන් කතා මවන්නෝ විට සපන්නෝ බව මගේ නිරීක්ෂණයයි.හරි හමන් පදනමක් නැතිදු, බුලතේ පවතින යම් ගුණයක් මේ උදෙසා හේතුවන බව මම දැනුදු විශ්වාස කරමි.  

         බුලතේ උත්තේජය ලදුව දිගට ඇදෙන කතාවේ වචන අවසන් වන නිහැඬියාව වැඩි ඉඩ කඩක් ගන්නා මොහොතක ට අප දෙදෙනා ලගා වන විට දුම්රිය නාවල පිටිය දුම්රිය ස්ථානය වෙත සේන්දු විය.. වහා බස ගොස් හිස් වූ වතුර බෝතලය පුරවාගෙන නැවත පැමිණි මා අසුන වෙත යලි අදුනෙමි.. ඒ මේ අත දුම්රිය ආසන වල වැටි නිදමින් සිටි මගියෝ අවදිවී සිටි නිසාවෙන් දුම්රිය මැදිරිය කඩි ගුලක කඩිසර බැවිනුත් මිමසි කුඩුවක වන් ගුමු ගුමු නදකිනුත් පිරි පැවතිනි..

“කිරි කොපි කිරි කොපි ..”

           හඬ නගමින් අප අසලින් ගමන් කල වෙළෙන්දෙකු නැවතූ මා කොපි කෝප්ප දෙකක් මිලදී ගෙන එකක් පානය කරමින් අනෙක ළඟ තබා ගත්තේ මගේ ගමන් මිතුරා වූ ජිනපාල මාමා උදෙසාවෙනි. පෙර පරිදිම දුම්රිය පිටත්වන මොහොතේ ඔහු මැදිරියට ගොඩ විය.. නමුත් මෙවර ඔහු ආයේ තනිව නොවේ..

“වරෙන් ගුණේ , මේකේ කවුරුත් නෑ ..” 

ඔහු අප පසෙක වූ හිස් අසුනක් ඔහු වෙත ඈ සගයාට පැයේ බොහෝ කලක සිට ඔවුනොවුන් අඳුනන බවට සියලු සාක්ෂි සමගිනි.මම ඔවුන් දෙදෙනා දෙස බලා මද සිනාවක් පෑවෙමි.

“මම කිරි කොපි ගත්ත මාමටත් එක්ක..”

     පරිසරයේ තිබුණු සිසිල් තෙත සහිත බව නිසා ඒ වනවිටත් උණුසුමෙන් මිදෙමින් පැවති කොපි කෝප්පය මම ඔහුට දිගුකලෙමි.

“අනේ මහත්තය. ඒක හොදා මට මේ යාලුවෙක් මුණ ගැහුනා.. ඔන්න අපිට හොද සින්දු ටිකක් අහගෙන යන්න පුළුවන්..”

 කොපි කෝප්පය අතට ගනිමින් ඔහු පැවසුවේ මිතුරා මා දෙසට දක්වමිනි.

       ගුනේ නමින් ඔහු හැඳින් වූ 50 විය ඉක්මවූ පුද්ගලයෙකි. තෙල්ගා සියුම්ව පසෙකට පිරු හිසින් යුතු, පිරිසිඳු සුදුපැහ කමිසයකින් සහ නිල් සුදු මිශ්‍ර මඩකලපු සරමකින් සැරසුණු ඔහුගේ ගෙලවටා වූ දුඹුරු පැහැ ලේන්සුව පැරණි චිත්‍රපට නළුවෙකු මා මතකයේ රඳවයි. සිහින් සිරුරකින් හා කාලවර්ණ සමකින් යුතු උවද සැබවින්ම ඔහු සිත්ගන්න සුළු අයෙකි. නිතරම සිනහවෙන් පිරි මුව සහ මදක් යටට ගිලුණු කම්මුල් ඔහුට අහිංසක බවක් එක්කලේයයි මා සිතමි.

ජිනපාල මා හඳුන්වා දෙන විට මුව පිරුණු සිනහවකින් ඔහු මා පිළිගත්තේය.

“වෙන පෙට්ටියකට නගින්න යනකොට මම අල්ලන් අවේ අපිට සින්දුවක් අහන්න”

ජින පාල මාමාගේ පුර්විකාවේ වූ “සින්දු කීම” මගේ අවධානයට යොමුවූයේ දැන්ය.

“ඒ කිඋවේ මාමේ .. මට තේරුනේ නෑ”

“ගුණේ පටන්ගමුකෝ, ඔන්න බලන්නකෝ මහත්තය..” 

ජිනපාල මාමට ඉවසුමක් නොවිය..

මද සිනහවක් නගාගත් ගුණේ නම් වූ ඔහු දෙස මා කුතුහලයෙන් බලා සිටිමි.

        උරයේ වූ පොදියත් දකුණතෙහි වූ මිටියත් ජිනපාල මාමා පෙර දක්වන ලද අසුනෙහි තැබූ ඔහු. අතෙහි තිබු මිටිය සීරුවට ලේහමින් දුම්රිය අසුන් අතර වූ ඉඩෙහි දිග හැරිය. සැබවින්ම එය කළු පැහ ගණ ඉටිකොලයකි. අසුනෙහි තැබූ අණ්ඩාකාර පොදිය ඉටි කොලය මත තැබූ ඔහු දෙදන බැඳ ඒ අසල අසුන් ගත්තේ භාවනාවට සුදුසුවන ඉරියවුවකිනි. පොදියේ ගැටය ලිහිල්කර පිටතට ගත ඩොල්කිය දුටු මට සියල්ල වැටහී ගියේය. ජින පාල මාමා සිනහවෙන් යුතු මුවෙන් සියල්ල බලා සිටි.

        සැබවින්ම ඔහුගේ ඉරියවු ඉතා පැහැදිලිය නිරවුල්ය. ඉටිකොලය එලීමේ සිට වාද්‍ය භාණ්ඩය පිටතට ගැනීම තෙක් සිදුවූ ක්‍රියාදාමය ඉතා සීරුවට සිදුවුවකි.  ඉටිකොලය බිම ඇතිරීමෙන් ඔහු සැහීමට පත් වුයේ එහි රැලි සියල්ල අතින් පිරිමැද ඉවත් කිරීමෙන් පසුව පමණි. ඉටිකොලය මත හිඳගත් වනම ඔහු එහෙයින් හැකිලුනු රැලි අතරද දෑත් යැවු සැටි මා දිටියෙමි.

            දෙදන ඉදිරියෙන් හරහට තැබූ දොල්කිය දෙකෙළවරින් අරඹා මැදි පෙදෙස තෙක් තෙවරක් ඇත ගෑ ඔහු දොහොත් මුදුන් දී ඊට වඳින විට ඔහුගේ හැදෙ තිබුණු බක්තියට මුහුණ දෙස් දෙනු මා දිටියෙමි. දිගහරි දකුණු කකුල සීරුවට ඩොල්කිය මතින් යැවූ ඔහු එක දෙපා අතර සිරකරමින් “ධා දින්” හඬින් සිදුකල හඬවුම දුම්රියේ කටොර නාදය පරයා සැමගේ නෙත් සිත් ඔහුවෙත යොමන්නට සමර්ථ වීමම ඔහුගේ දක්ෂතාවයට හිඟි පළකළේය.

“මේ දුම්රියේ ගමන් ගන්නා සියලුම වැදගත් නෝනා මහත්වරුන්ට සුබ රාත්‍රියක් වේවා කියල ප්‍රර්ථනා කරනවා!”

          ඒ ඔහුගේ ඇරඹුමයි. සැබවින්ම සිත් ඇදගන්න සුළු කටහඬක් ඔහුට තිබෙන බව කිව යුතුමය. එතැන් පටන් පැයක පමණ කාලයක් තුල ඔහු මුළු දුම්රිය මදිරියම සංගීත සන්ධවනියක ගිල්වාලුයේය . දේව බැති ගී , ආදර ගී, සරල ගී , බයිලා, විරහ ගී මේ සියලු ගීතයන්හි කරන රසායන සංකලනයක් ඔහුගේ ගිතගොන්නේ විය. දුම්රියේ නාදය සැමට අමතකව යද්දී ඩොල්කීයෙන් නැගුනු පැහැදිලි සුමාදුර්ය දුම්රිය මැදිරියේ සැවොම වශී කරගන්නට සමත්විය. එය ලොකු කුඩා රළු සුමට භේදයකින් තොරව සමසේ බෙදිගියා සේය. මුළු දුම්රිය මැදිරියම නිහඬ නිමේෂයක ගිලි යද්දී දුම්රිය ඉදිරියටම ඇදිනි. කොතරම් දුරක් කෙතරම් දුම්රිය නැවතුම් ප්‍රමාණයක් පසුවිද යන්න කිසිවෙකුට නිනාවූ නොවිය.

“බදුල්ල බලා ගමන් ගන්න මේ නෝනා මහත්තයලට සමන් දෙයි හාමුදුරුවන්ගේ පිහිට අරෂාව ලැබෙන්ට ඕන වගේම මේ දක්වා ගීත ගායනා කරලා ඔබතුමාලා පිනවන්ට වරම් දුන්න සරස්වතී මෑණියන්ට බුදුන් දැක නිවන්දකින්ට මේ පින හෙතුවෙන්ට ඕනේ”

ලෙස ඔහු ඔහුගේ ප්‍රසංගය නවතන විටත් දුම්රිය මැදිරිය සම නිහැඩියාවෙන් සාවධානව තිබීය. 

      පෙර පරිදිම තෙවරක් නමස් කාරයේ යෙදී ඩොල්කිය පසෙක තැබූ ඔහු පොදියෙන් අතට ගත්  කුඩා වට්ටියක් බඳු යමක් ගෙන දුම්රිය මැදිරියේ සරන්නට වුයේ රසවින්දනයේ ඔහුගේ භාගය අපෙන් පතමිනි. රසය සැමගේ සිතට දැනුනු සේය. වචනයකුදු නොකියා සියයේ පනහේ කොළවලින් ඔහුගේ වට්ටිය පුරන්නට දුම්රිය මැදිරියේ රසික සිත් හුනුවි ඇත. කළා තුරකින් ලැබුණු දහයේ කොළයත් ඇති හැකි අයගේ සියයේ කොළයත් ඔහු පිළිගත්තේ එකම සිනාවෙනි.

        වටයක් ගොස් නැවත තම අසුනට පැමිණි ඔහු දිග හැරී සුරුවමින්ම පොදිය අසුරන්නට වුයේ මදකුදු හදිසියක් නොපෙන්වමිනි.

“කොහොමද මහත්තයෝ සංගීතේ..”

 ජිනපාල මාමා මගේ මනෝ භාවයට එල්ල කල වදන් පහරින් මම පිබිදුනෙමි.

“ෂාහ් මරුනේ මාමේ.. ඇයි මේයා කෝච්චියේ සින්දු කියන්නේ.. හරි දක්ස මනුස්සයෙක්නේ” 

මම ඔහුදෙස බලා පැවසීමි.

“ඒවා නම් දිග කතා මහත්තයෝ.. හැබැයි මිනිහට මේකෙන් වැරද්දක් නෑ.. දැක්කනේ කට්ටියගේ සැලකිල්ල.”

“එත් මන් කියන්නේ අපරාදේ.. ” මම මගේ අදහස තවත් තර කලෙමි.

බඩුටික සීරුවට නවා තැබූ ගුණේ මාමා අප අසලට පැමිණ වාඩිගත්තේ පෙර පවතී සිනාවෙන්මය.

“ෂාහ් නියම සින්දුටික බන් .. ඔන්න ඔහෙන් ඉදගනින්”.. 

ජින පාල මාමා බුලත් මල්ල ඔහුවෙත පෑවේය.

මද සිනහවකින් සහ අසාවෙන් එය පිළිගත් ඔහු.

 “එක වටිනවා” යයි පවසා විටක් සකසන්නට වුයේය.

“උබ අද බදුලුද යන්නේ ?” 

ජිනපාල මාම විමසුවෙන් ඔහු බදුල්ලේ නිතර නොගවසේන්නෙකු බව මා සිතාගත්තෙමි.

“ඔවු ජිනේ අයිය .. කෙල්ල බලල එන්ට යන්ට ඕනේ.. ”

“දැන් මොකෝ එකීට.. තාම ගුණයක් නැද්ද..” . මම ඔවුන්ගේ කතාවට කන්දී සිටිමි.

“මොන .. තාම එහෙමම තමා ඒවා ඉතින් කරුම ලෙඩ ජිනේ අයිය.. මරෙනකන්ම ඔහොම තමා.. ” දිග සුසුමක් ඔහුගේ කතාව අග පැටලී ආයේය.

“මම එහා පෙට්ටියට යන්නම් ජිනේ අයිය .. එන්නම් මහත්තය..”

 මෙතෙක් වෙලා ඇත මිට මොලවා සිටි රුපියල් සියය මම ඔහු අත තැබීමි. ඔහුගේ ඩොල්කි නාදයත් අරුම දිවියත් අතර සැඟවුණු දුක්බර කතාවක් ඇතැයි ලද ඉඟි නිසාවෙන් මම ඒ පිළිබඳව විමසිලිමත් වීමි.

“මොකද්ද ජිනපාල මාමේ ගුණේ මාමගේ දුවට තියන ලෙඩේ..”

“හ්ම්ම් එකනේ මහත්තයෝ මම කිඋවේ දිග කතාවක් කියල.” ඔහු රල් බුරුල් කර හැර කතාව පටන්ගත්තේ දිග කතන්දරයකට සැරසෙන සේය.

“මම ගුණපාල අදුනන්නේ බදුල්ලට රේන්ද ලොරිය එලවන කාලේ මහත්තයෝ. අපි බදුල්ලට ආවම නැවතුනේ ඔය ස්ප්‍රින් වැල්ලට කිට්ටුව තියන ලැගුම් පොලක. ගුණයට ඒ කාලේ ඒ ඉසවුවේ කෑම කඩයක් තිඋන.. අපි කෑවේ උගේ කඩෙන්.”

මම වචනයකුදු නොකියා සවන්දෙමි. විට මල්ල යලි අතට ගත් ජිනපාල මාමා යලි විටක් සකසමින් මාවෙතද විටමල්ල පෑවේය  

“මහත්තය තව එකක් කමු” .. 

මම බුලත් කොලයක් ගෙන හුණු ගාමින් ඔහුට සවන් යොමමි. විට කෑමට වඩා මගේ මනස ගුණපාල අරඹයා ඇදීගොස් ඇත.

“හවසට වතුර නාගෙන කඩේට ගොඩ වෙච්චි අපිට ගුනේගේ මායියා අතින් හැදිච්ච කෑම වේල බොහොම අගේට හිටිය. කෑම විතරක් නෙවේ ඔය කටගැස්මට යමක් හදාගන්නත් අපි ගොඩ උනේ එහාටම තමා. පොඩි අඩියක් ගහල කට්ටිය බජවුවක් දාද්දි ගුණේගේ ඩොල්කි සද්දේ වැරදුනේ නැහැ.  එනිසාම ලොරිකාරයෝ අතරේ මනුස්සය හරි ප්‍රසිද්ධයි.”

“ඉතින් දැන් ඇයි මේ කොච්චි ගානේ සින්දුකියන්නේ ..” මගේ ඉවසීම කෙටිය.

“කොහොමින් කොහොම හරි එක වන්ගියක මම යනකොට කඩේ වහල කවුරුත් උන්නේ නෑ.. වට පිට විපරම් කලත් ගුණේ ගැනවත් පවුල ගැනවත් ආරංචියක් තිබුනේ නෑ.. ”

දැන් දැන් ජනේලයෙන් දැනෙන සිසිලස තද සිතලකට හැරෙමින් ගතට කර්කශ බවක් එක්කරයි. වසා දැමුණු ජනේලය මදක් විවරකල බුලත් කෙල නිදහස් කල ජිනදාස මාමා වහා ඒ වසා දැම්මේ එනිසාවෙනි.

“හා කෝ මහත්තය තාම හුණු ගානවද ? ” . 

කතාවේ රසය මා අතාවු බුලත් කොලය අමතක කරලීය. හුණු නොමැති ඇඟිල්ල බොහොවෙලා ඒ මත ඇතිල්ලීමෙන් බුලත් කොලය තැලුණු පැහැයක් ගෙන තිබිණි මම වහා කොලය කටේ දමා ගතිමි.

“ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල මම රේන්ද ලොරියෙන් අස්වෙලා මේ කොළඹ රස්සාවට වැටුනේ. හැබැයි ඒ වෙනකොට මම පවුලක්ප න්සලක් වෙලා බදුල්ලෙන්ම පෙලවහක් කොරන්. හෙහ් හෙහ් හෙහ් ”.. 

ඔහු සිනාවෙන් මුව සරසාගත්තේ තමන්ගේ ජීවිතය ගෙවී අපුරුව සිහිපත් වීමෙන් ලද සතුට්ව්න් යයි මට සිතේ
.
“ඉතින් මම ගමන බිමන ගියේ කොච්චියෙන්ම තමා .. සති දෙක තුනකට සැරයක් සිකුරාදාට මම බදුල්ලට යනවා මෙන්න මේ කෝච්චියෙන්.. ” 

ඔහු කොච්චි පෙට්ටියේ සතර බිත්ති දෙස බලමින් පැවසුවේ කෙදිනකවත් නොවෙනස් වූ ඔහුගේ ජිවන රටාවත් මේ පෙට්ටියත් සමාන කොට මවමිනි.

“දවසක් මම නාවොලපිටියේ ඔය අද බැහැ ගියා වයේම ඉන්නකොට ඩොල්කි සද්දයක් ඇහුන ඇරපු අතක් නෑ අවුරුදු 10ක් ගියත් මට ඒ හඬ අඳින්නකි .. ඒ ගුණේ ගේ ඩොල්කි සද්දේ.. ඔන්න ඔහොමයි මට මිනිහ හම්බුනේ අයෙමත් ”

“ඉතින් මාමේ මනුස්සයට මොකද උනේ කිඋවේ නෑනේ තාම.” මගේ ඉවසීම අහවර වූ තැන මම මැදින් පැන්නෙමි.

“එදා තමා මම මිනිහගෙන් ඇහුවේ මොකද උනේ කියල .. හ්ම්ම්ම් ඒ මිනිහට වෙන්ට තිබ්බ හැමදේම වෙලා මහත්තයෝ.. කොහෙන්ද ආපු ලොරිකාරයෙක් එක්ක උන්ගේ ගෙදර උන්ද පැන ගිහින් තිවුන.. මට හොදට මතකයි උන්ගේ කෑම රහට වගේම උන්ටත් රහවැටුණු දෙතුන් දෙනෙක්ම ලොරි කාන්ඩේ උන්න.. රතිය මහත්තය රතිය .. ඕක තමා විනාසේ මුල.. ” 

   තරහ පිරි මුවක් මවාගත් ජිනපාල මාමා බරකොට පැවසුවේ තමන් ඒ සිදුවීම දැඩිව පිළිකුල් කරන බව හඟවමිනි.

“ගමේ ඉන්ට බැරි හින්ද කඩෙත් වහ දාල කෙල්ලත් අරගෙන ගුණේ ගොහිල්ල තියනවා හාලිඇල්ලේ උන්ගේ කයේ හරි ගෙදරකට.. ටිකකාලයක් වවාන කාල ඉන්නකොට තමා දැනගෙන තියෙන්නේ උගේ කෙල්ලට පිළිකාවක් තියන විත්තිය.. අතේ මිටේ යහමින් නැති නිසා ගෙවල් ඉදන් පවා විකුණලා කෙල්ල ගොඩ දාගන්න උ නොගත්ත උස්සහයක් නෑ.. දැන් කෙල්ල ඉන්නේ බදුල්ල මහා ඉස්පිරිතාලේ.. රස්සාවක් කරලා සල්ලි හොයන්ට පුළුවන් කාලයක් ගුණයට නෑ මහත්තය .. ”

“ඉතින් කොහොමද සින්දුකියන්න පටන්ගෙන තියෙන්නේ මාමේ ”

“දවසක් කෙල්ලගේ බෙහෙතක් ගේන්ට කොලබ එන්ට නගපු වෙලාවක ඌ දැකල තියනවා සින්දු කියල සල්ලි හොයන එකෙක්.. ඉතින් ඒ වෙනකන් නොවිකුණා තිබ්බ ඩොල්කියත් ඇන්න ඌ ගොඩවෙලා තියනවා ඉගාව දවසේ කෝච්චියට.. ගුණේ ගේ සංගීතෙට වසී නොවෙන්ටනම් උට කන් ඇහෙන්නේ නැතිවෙන්ට ඕනේ මහත්තය.. ඌ හොද ගානක් හම්බකරනවා දවසකට.. කෙල්ල බලකියාගන්ට ඒකිගේ බෙහෙත් වලට තමා වියදම් කරන්නේ”

“ඉතින් දැන් ඉන්නේ කොහෙද ?” මට නැගුනු පැනය සාධාරනයි ඔබට සිතෙනු ඇත.

“ඉන්න තැනක් කියල නෑ .. කෙල්ල ඉතින් සදහටම ඉස්පිරිතාලේ තමා.. ඉස්ටේසමේ මහත්තුරු ගුණේට හරි හිතවත් ඉතින් ඔය කොහේ උනත් උට කමක් නෑ මහත්තය..”

        දුම්රියේ ඩක ඩකය හා මුසුවූ ගුණේ මාමාගේ ඩොල්කි නාදය ඈතින් ඇසෙ.. ඔහු අසල දුම්රිය මැදිරියක ගී ගයනවා විය යුතුය. මාමෙන්ම තවත් දහසක් දෙනා අදත් හෙටත් ඔහුගේ ගී අසා වශිවනු නොඅනුමානය. එහෙත් ඔහුගේ ජිවන ගියේ කටෝර විඳින්නට ඔබට ලැබෙතැයි මා නොසිතමි. ඒ රළු පරළු ගීතය මා මෙසේ ලියා තබන්නේ එබැවිනි.