Sunday, January 17, 2016

එෆ් එම් වෙළෙන්දා

"කදුරුවෙල කදුරුවෙල සාමාන්‍ය ගාස්තු .. හයයි කාල අදිනවා .. කොහෙටද මහත්තය සිට් තියනවා නගින්න.."

දීර්ග සති අන්ත නිවාඩුවට නිවසට යාමට කොටුව ප්‍රධාන බස් නැවතුමේ පොළොන්නරු පර්යන්තයට මා පැමිණියෙමි. කොන්දොස්තර තැනගේ ආරාධනය ඇතත් නැතත් ම මේ බස්රථයේ යාමට ඉටාගෙන අවසන්ය .. වහා රථයට ගොඩ උවද එතරම් හදිසියක් අනවශ්‍ය බව මට හැඟී ගියේ රථයේ සෙනග තවමත් අතේ ඇගිලි ඉක්මවා නොගිය බව අස ගැටීමෙනි.

සුදුසු අසුනක් සොයා ජනේලයක් අසල කෙළවරක මම අසුන් ගතිමි ..

හයයි කාල රථයේ පිටත් වීමේ වෙලාව නම් ඒ සඳහා තවත් මිනිත්තු 30ක කාලයක් ඉතිරිව ඇත.

"ඔන්න මහත්තයෝ කොලබට ආපු අලුත්ම භාණ්ඩේ .." යයි මූල පුර්ණය දෙමින් රථයට පිවිසි පදික වෙළෙන්දෙකු සැමගේ නෙත් ඔහුවෙත ගැනීමට සමත් උවද ඒ නෙත් ප්‍රමාණය ඔහුගේ සිත සතුටු කරන්නට අසමත් වූ ලෙසකි.. අලංකාරව සකස්කළ වචන පෙළ ලත් තැනම ගිලගත් ඔහු රථයෙන් බැස ගියේය.

තවත් විනාඩි 10ක් ගතවන්නට මත්තෙන් සැලකියයුතු සෙනගක් අසුන්ගතව බස්රථය පිටත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව පෙනින. වරක් දෙවරක් බසයේ ඉදිරි දොරටුවෙන් නැගුනු කොන්දොස්තර තැන

"මෙතන කෞරුහරි ඉන්නවද ? ඔය බග් එක කාගේද ? තමන්ගේ බග් අතට ගන්න ? ඔය අක්ක කොහෙටද ? දඹුල්ලෙන් මෙහා ඉදගන්න එපා "

වැනි, ප්‍රශ්නත්, විටෙක තර්ජනන්ගුලිත් ඔසවමින් පසු පස දොරටුවෙන් බැසගොස් "තව සිට් 4ක් තියනවා".. ලෙස ඉතිරිව පවතින අසුන් ගණන පිටත සිටින මගීන්ට දැන්වීය.

මේ අතර රථයට නැගුනු රියදුරු රථය පනගන්වා එන්ජිම ආගිරි නංවන්නට විය. තම ගමන් මලු අසුන් වල තබා පිටතට වී සිටි සමහරු බස්රථය පිටත්වෙතයි සිතා වහ වහා රථය තුලට නගගත්තද, බසය පිටත් වීමට තව කල් ඇතිබව අත්දැකීම් ඇත්තෝ දැනසිටි නිසාවෙන්දෝ තවමත් කිහිපදෙනෙකු පිටත එහෙත් දොරටුවට ආසන්නව සිටියහ..

රථය පනගන්වුමත් සමගම රථයේ ගුවන්විදුලිය පණ නැගියේ නව තාලයේ ගීතයක හඬින් බස් රථය පුරවාලමිනි.

බස්රථයේ අගිරි ගෑමෙන් පන නැගුනු එකම දෙය ගුවන් විදුලියම පමණක් නොවුනු බව මට හැඟුනේ වරක් අසාර්ථක වූ පදික වෙළෙන්දා නැවතත් රථයට නැගෙනු දැකීමෙනි. එහෙත් මෙවර ඔහුගේ පිවිසීම පෙර මෙන් උද්යෝගිමත් නොවිය.

රතුපාට කුඩයක පිරවූ,අමුණු සහ එල්ලූ නොයෙක් විද භාන්ඩ ඔහුසතුව විය. ඒ සෑම එකකටම අවේනික උපත සහ පාවිච්චිය පදනම් වූ විස්තරයක් ඔහු සතුය.

"මෙන්න මහත්තයෝ ගේනවා නියම භාණ්ඩයක් .. " ඒ ඔහුගේ මෙවර ඇරඹුමයි.
"මේකේ තියනවා ඕනෙම ප්ලැට් නියනක් .. ඕනෙම මල් නියනක්.. ඇනවර්ග 23ක් .. ඇණ.. වර්ග විසිතුනක් පටස් ගාල ගලවගන්න පුළුවන්.. ඔය ගේදොර පොඩි වැඩවලට හදිසියට බයිසිකලේ බ්රේක් හදාගන්න ගෙදර රේඩියෝ එක ගලවගන්න මෙන්න නියම භාණ්ඩේ.. රුපියල් සීයයි ... ඔරිජිනල් ජපන් භාණ්ඩේ .. අතටගන්න අල්ලලා බැලුවට ගන්න කියල බල කරන්නේ නෑ.." ඒ ඔහුගේ පලවෙනි භාණ්ඩ වැනුමයි..

"එතකොට මේ මොකක්ද .. ඔබේ දුවට පුතාට .. අක්කගේ අයියගේ පුංචි දරුවට .. මේ විසම සමාජේ ජිවත් වෙන්න ඉගෙනීම අත්‍යවස්ය දෙයක්.. අද ඔපිසියකට ගියත් කොලබ හොද කඩේකට ගොඩ උනත් පළවෙනියට අහනදේ තමා .. වට් දු යු වෝන්ට්.. එතැන් පටන් පටන්ගෙන තමන්ගේ ජිවිතේ ගෙවාගන්න අවශ්‍යම කරන ඉංග්‍රීසි දැනුම ඇතුලත් පොතක් තමා මේ තියෙන්නේ.. කෙනෙක්ගෙන් දේවල් අහන්නේ කොහොමද ? කෙනෙක්ට පාරක් විස්තර කරන්නේ කොහොමද ? තමන්ව හදුන්වල දෙන්නේ කොහොමද ? මෙන්න මේ ආකාර වැදගත් අවශ්‍ය තා 25ක් එක්ක එදිනෙදා වැදගත්වෙන වචන 5000ක් වචන... 5000ක් මේ පොතේ අඩංගු වෙනවා .. කඩේ සාප්පුවේ ගන්න ගියොත් මේ පොතේ මිල මෙන්න රුපියල් 250ක් .. හැබැයි මන් දෙන්නේ නිකන් වගේ රුපියක් 100ක් .. බුලත් විට 5ක් සිගරට් දෙකක් ගන්න මිලට ඔබේ දරුවට දැනුම අරන් යන්න මෙන්න අවස්තාව..."

භාණ්ඩ විස්තරය අතර තුර කිහිප දෙනෙකුම ඔහුගේ භාණ්ඩ අතපතගා බලනු මා දුටුවෙමි.. පොත් කිහිපයකුත් තවත් භාණ්ඩ කීපයකුත් අලෙවි වූ සෙයකි.. බස්රථය හඬ නංවමින් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වුයේ. ඔහු වහා රථයෙන් බස අතුරුදන් වුයේ මගීන්ගේ විඩාව සහ අසහනය මෙන්ම සමව යමිනි.

රථය මාලිගාවත්ත දෙසට සෙමෙන් ඇදෙන්නට වත්ම ඩ්‍රයිවර් තැන රේඩියෝවේ ශබ්දය මදකින් වැඩිකළේ රථයේ හඬින් එය යටපත්ව ගිය මොහොතකය.

සබන් වර්ගයක් සහ බිස්කර් වර්ගයක් පිලිබඳ දැන්වීමකින් අනතුරුව ගීතයක් ප්‍රචාරය විය.. ඒ රේඩියෝවේ සවස ගීතමය වැඩසටහනක ආරම්භයයි .. බටහිර පන්නයට හුරු තරමක ගැබුරු එහෙත් අස්වාභාවික හඬකින් යුතු පැසුණු බවට වඩා නොමේරු ව්‍යක්ත බවට වඩා බජාර් පන්නයට අසන්න වූ නිවේදකයාගේ කටහඬ ම සිත් නොගත්තේය ..

"හලෝ හායි හායි.. ඉතින් කොහොමද ඔන්න මම අදත් අවා වෙනද වගේම  ඔයාලගේ කැමතිම සින්දු අරගෙන.." මේ ඔහු වැඩසටහන ආරම්භ කල මොහොතයි

"අමතක කරන්න එපා අද ෆන් බදාදා .. ඉතින් එන්න සෙට් වෙන්න ෆන් එක ගන්න මාත් එක්ක.. ඔයාල දන්නවා හැමදාම වගේ අපේ ලගින් ඉන්න යාලුවෝ .. අපේ අනුග්‍රාහක භවතුන්.. ඒ ය ගැන මතක් කරන්න කලින් මෙන්න සින්දුවක්.."

ඔහුගේ කටහඬ අප්‍රිය තාවයේ ඉනිපෙත්තෙහි තැබෙන්නට කලින් වේලාව බලා ඔහු සිංදුවකින් දමා ගැසුවා සේයා.. කෙසේ නමුත් සින්දුව මා සිත්ගත්තේය. සින්දුව අතර මැද්දේ කිහිප විටක් ප්‍රචාරය වූ නාලිකාවේ නම නිසා සිදුවූ රස දුෂණය පිළිබඳව සිත් කිළුටු කරගනිමින් මම සින්දුවට සවන් දී නොදී ජනේලයෙන් පෙනෙන අවට පරිසරයට සිත් යොමුකලෙමි..

"ඉතින් ඒ ඔයාල හැමදාම ආදරේ කරන ජනප්‍රිය ගායක ලසන්ත අබේනායක" ඒ ගීතයේ අවසානයි..

"හොදයි .. ඔයත් එලේවල් කරගන්න බැරිඋන නිසා රස්සාවක් හොයාගන්න බැරුව අප්සට් එකේ ඉන්න කෙනෙක් නම් දැන් එහෙම ඉන්න ඕනේ නැ කියන සුබ පණිවිඩේ දෙන්නයි මම මේ හදන්නේ .. මහගෙදර ටෙක්නිසියන් එකෙන් බරයන්ත්‍ර පටමාලාවක් හදාරලා හොද පඩියක් එක්ක ලංකාවේ හරි පිටරටක හරි හොද ජොබ් එකක් හොයාගන්න දැන් ඔයාටත් අවස්තාව තියනවා. කිසිම අද්යාපන සුදුසුකමක් අවශ්‍ය නෑ .. කරන්න තියෙන්නේ මෙච්චරයි  ගන්න ෆෝන් එක ටක් ගාල එස් එම් එස්  කරන්න මෙන්න මේ නම්බර් එක නොට් සෙවන් ත්‍රී ෆොර් වන ඩබල් ටු සිරෝ .. ටක්ගාල එහෙන් කෙනෙක් ඔයාට කතාකරාවි පැය භාගයක් ඇතුලත.. ලංකාවේ නම් රුපියල් 40000 සිට 60000 දක්වා වටුපකටත් පිටරටක නම් රුපියල් ලක්සෙට වැඩි පඩියකුත් ලබාගන්න ඔයාටත් පුළුවන් කියල ගරන්ටියක් දෙනවා .. ඉතින් මොකටද තවත් ප්‍රමාද ? "

ඔහු විස්තරය දිගටම කියවාගෙන යයි ..

"ම්ම්.. ඔයාල දන්නවද මගේ කොන්ඩේ කාලෙකට කලින් වැටෙන්න ගත්ත .. කොල්ලෝ කලේ ඉස්ටයිල් කරන වයස වෙනකොට එහෙම දෙයක් උනාම කොහොමට තියෙයිද ? හිතාගන්න පුලුවන්ද ? හැබැයි මගේ පිනට මට හම්බුනා කළු කේෂා හෙයාර් මොටිවෙටර් එක .. එකට පින්සිද්ද වෙන්න මට දැන් ඕනේ ඉස්ටයිල් එකකට කොන්දේ කපාගන්න පුළුවන් .. ඉතින් මට විතරක් නෙමේ මට වගේම කොන්දේ ගැලවෙන ඔයාටත් ලගම තියන කඩේට ගිහින් කළු කේෂා හෙයා මොටිවෙටර් එක ගන්න පුළුවන්... ඔයාලගේ ලේසියට පහසුවට දැන් පොඩි පැකට් ......."

විස්තරය හදිසියේ ඇනහිටියේ කොන්දොස්තර මහතාගේ මැදිහත් වීමෙනි .. මට මෙන්ම ඔහුටත් එය කන්දොස් කිරියාවක් වන්නට ඇත .. රේඩියෝව නිවා දැමු ඔහු හකුලා තිබු රුපවාහිනිය දිගහැර චිත්‍රපටියක් ක්‍රියාත්මක කරවිය. මදක් ඒ දෙස බල සිටිමා නැවත අවදි වන විට සිටියේ බැලුන් මහර හන්දියට ආසන්නයේ බව අසල තිබු කඩයක පුවරුව අදාරයෙන් දැනගතිමි..