Thursday, November 3, 2016

හිඟන්නා

සවසක නැගුනු ගත දහදිය වකාගෙන
නවාතැනට ඇදෙනා මග මා යනෙන 
කොලයක් එලා බිම හිඳගෙන  මා යදින 
හිගනෙක් අසල නැවතුණි දානයේ අටින. 

දෑසම නොපෙනෙනා ගැහැණිය රැක ගන්නේ
පින්වත් මහතුනේ යම් මුදලක් දෙන්නේ 
පෙන්නා අසල උන් ගැහැණිය බඩගින්නේ 
ඔහුමා දෙපා අබියස හිඳ වැලපෙන්නේ 

මුදල රැගෙන මා දුන් එය සිප සොඳින 
මහතුනි නිවෙයි දුක් ගිනි යයි ඔහු පතන 
නෙත් අඳ ඇගේ අත ඒ කාසිය තබන 
ඔහු දුටු මගේ නෙතගට කඳුලක් නැගිණ.

ඇති වුන කුහුල තද වැඩි සිත දරන්නට 
සිතුනා තවත් මේ අය දෙස බලන්නට 
නැවතී මදක්  අසලක නොම පෙනෙන්නට 
පසු පස ගියා යන එන මන් සොයන්නට 

සුදු පැහැ කෝටුවට බර නැත  එය වැනින
සැමියා අතින් ඇගේ කනවැල සරි කෙරින 
දෙපලම එක්ව බත් කඩයට ගොඩ වැදුන 
එලවලු කෑම දෙපතක මිල එහි රැදුන

දකුණට හැරී මහ පාරෙන් සැම යනෙන 
මද දුරකිනිය නිවහන මොවුන්ගේ රැඳුන
ඉටිකොළ වලින් සවිකොට වහලය නැගුන 
සෙල්ලම් ගෙයකි ඒ දුටු මා සිත ඇඳුන

හිඳුවා බිරිඳ එහි ඇති ගල් කුලක් මත 
සැමියා තනයි තෙල් පහනක්  මිදුල මත 
දල්වා පහන දුරු කර හැර අදුර වත 
ඈ හා දොඩයි දවසේ ඔහු දිවි පෙවත 

මුකුලිත සිනා කැන් දෙපලගේ මුව රැඳුන
සිත් ඔවුනගේ පොහොසත් බව මුර ගාන
ඒ දෙස බලා සොම්නස ගෙන හිත පිරුන 
ආපසු හැරී මම මා නිවසට ඇදුන.

කුලී නිවහනේ දොර ගුළු ඇර ලාන 
සුව පැහැ පිරුණු තනි සයනයේ ඇනබාන 
තනිකම දැනෙද්දී සිත තුල නලියාන  
මා නේ සිගන්නා නොවේදෝ මට සිතුන. 











1 comment: