Monday, November 20, 2017

අලි ගැනීම....

දිනය දෙදහස් දොළහක් වු මැදින් මස පොහොදිනයකි. සරසවි භුමිය පුරාවට තිබුණු කෙළිලොල් කම වෙනුවට බැරෑරුම් බව කෙමෙන් පරයා නැගෙන විභාග සමය වසන්තය මකාලන ශීත ඍතුව සේ සරසවිය වසාගනිමින් පවතින කාලයකි ඒ . කම්මැලි නිහැඬියාව අතරින් නැගුනු නිදිමත පිරුණු විඩාව නිවාගන්නට අපන ශාලවට ගොඩනැගුනු අතලොස්සක් අතරට මමද මගේ රුව ගෙනගියෙමි. වෙනදා කෙරුණු කෙළිලොල් මෙන්ම සමාජවාදී කතාබහ වෙනුවට සැමදෙනාගේම මුවේ තිබුනේ පොතපතේ කටයුතු වීම නිසාවෙන් ඒ පිළිසඳර ඉතා විඩාබර එකක් වීය.
අමිලගේ රුව දොර අසලින් මෑත් වුයේ මා පිළිසන්ඳරින් ඈත්ව යන්නට මොහොතක් පිළිබඳව කල්යල් බලමින් සිටින අතරවාරයේය.රවුමට රෝල් කරගත් කොලයක් අතේ රඳවාගෙන ඉන් අනෙක් අතට තාලයට තට්ටු කරමින් පැමිණෙන ඔහු දුටුවිට විභාගයේ බරපතල ඔහුට දැනී නැතිදෝ කුකුසක් මාමෙන්ම මගේ සගයන්ටද දැනී ඇති බවකි.
“මොකෝ මේ !! පාඩම් කරලා ඉවරෙයි !! ” කිසිවෙකු දුරතියාම ඔහුගෙන් ප්‍රශ්න කරන්නට යෙදුනේ ඉවසීමේ සීමාව වඩාත් පටුවූ බැවිනි. 
අමිල යනු කුරුණෑගල බන්දාව ගම් පියසෙන් පැමිණ සරසවි සමාගමයට පිවිසි කෙළිලොල් එහෙන් වගකීම් සහිත අයෙකි. ඒ වු නිසාවෙන්ම අන් අය ගරු තනතුරක ලාය ඔහු සැලකුයේ. සැමටම මිතුරෙකු වු ඔහු අදහස් හුවමාරුවේ දක්ෂයෙකි. “ජේ ආර් ” වර්ගයේ නහයක් ලෙස හැඳින්වූ කැපී පෙනෙන නසයකට හිමිකම් කියූ ඔහු, අමතක කෙනෙකුට හඳුන්වා දෙන්නට මේ නාසය මනා පිටිවහලක් විය.
“හේ හේ .. නෑ  බන් මේ ඇඩ්මින් එකෙන් කතා කලා පොඩි වැඩකට ” . කියූ අමිල අප අසලින් අසුන් ගනිත්දී මහත්වූ දෙනෙතින් බලාසිටි අප කතන්දරයක් ඇසීමට වාඩි වන කොලු රැලක් මෙන් ඔහු අරබන තුරු පුල පුලා බලාසිටියෙමු.
“ඇයි මොකද ප්‍රශ්නේ !!” මා ඇසුවේ බැරෑරුම් යමක් සිදුව ඇත්දැයි දැනගැනීමට ඔහුගේ මුහුණේ හැගීම් වඩාත් විමසමිනි.
“නෑ අවුලක් නෙමේ බන් . පොඩි ජොලි වැඩක් හැබැයි මේ විභාගේ නොතිබුනානම් තමා ගොඩක්ම හොද ” .
ඔහු කතාවට මුල පිරුවේ අතේ වු කඩදාසිය දිගහැර මේසය මත තබමිනි. “අලි සංඝණනය 2012 ” ලෙස මාතෘකා ගැන්වූ ලිපියක පිටපතකි ඔහු දිගහැරියේ.
බොහෝ කාලෙකට පසුව සිදු කරනු ලබන අලි සංගණනයක් පිළිබඳවත් ඒ සඳහා වීශ්ව විද්‍යාල සිසුන්ගේ උපකාරය බලා පොරොත්තුවන බවත් ප්‍රධාන දැන්වීම් පුවරුවේ සටහන් වුයේ මිට මසකට පමණ පෙර බව මගේ මතකයේ ඇත. නමුත් එම දැන්වීමේ යටින් යෙදුනු බලධාරී සටහනක දැක්වූ පරිදි ඒ සඳහා ඉදිරිපත් වීමේ අවස්තාව තෙවන සහ සිවුවන වසර සිසුන් සඳහා සීමා කොට තිබිණි. අවාසනාවට මෙකල අපි දෙවන වසර සිසුහු වීමු.
ලිපිය කියවනවට වඩා යමක් දැනගත හැකි නිසාවෙන් එය පසෙක තබා මම අමිල දෙසටම හැරුනෙමි.
 “මම හිතුවේ අපිට යන්න බැ කියල මේකට.. බෝර්ඩ් එකේ දාල තිබ්බේ අපිට උඩ අයට විතරයි කියල නේද ?”  මම අමිලගෙන් විලිවිසීමි.
 “ඔවු එහෙම තමා . කලින් යනවා කියපු අය විභාගේ නිසා ටිකක් ආදී මදි කරනවලු. ඉතින් අපිටත් යන්ඩ පුළුවන්. හැබැයි දැන්ම තියා නම් දෙන්න ඕනේ. 60යිලු එක්ක යන්නේ . ”  
“අප්පා මේක තියෙන්නේ මේ මාසේ 22 නේ බන් . එකියන්නේ විභාගෙට දවස් 12ක් තියල ” .
අවධානය වෙනතකට හරවමින් “අදීශගෙ ” හඬ පෙරට ආයෙන් අපි නැවතත් ලිපියට බර විමු. “අදීශ” යනු යටියන්තොට ප්‍රදේශයෙන් පැමිණ අපගේ මිත්‍ර සමාගමට එක්වුයෙකු වු අතර ඔහු කා අතරත් ප්‍රකට වුයේ කතාවෙහි දක්ෂ ප්‍රයෝගික එහෙත් පුරාජේරු කාරයෙකු ලෙසිනි . “පොහ්හ්.. අන්න පොත ..” ඔහු කියවූ පොතක් අනෙකකින් වෙන් කරන්නේ එසේය. මගේ මිතුරු සංසඳයේ සබැඳි කැරැට්ටුවක් ඔහුටද හිමි වුයේ දැන හඳුනාගත් පළමු දිනයේ පටන්මය.
“එක තමා මම කියුවේ . හැබැයි මස්සිනා  මම නම් වැඩේ අතාරින්නෙ නෑ. මේ සැහෙන කාලෙකින්ලු මෙහෙම එකක් කරන්නේ. කන්න බොන්න එහෙන් දෙනවා. අපිට තියෙන්නේ අලි ටික ගැනල දෙන්න.”
අමිල එසේ කියද්දී ප්‍රශ්න දහසක් සිතට නැගුනත් ඒ යටපත් කරගෙන නැගුනු පැනය  වුයේ
 “දැන් කොහොමද ඕකට නම දෙන්නේ ? ”.  යන්නය
“අපිට, නම් ටික ලියල දෙන්න තියෙන්නේ . හැබැයි ඉතින් ගහක් ගලක් නැග ගන්න පුළුවන්  ගගක පිනගන්න පුළුවන් උන් විතරක් දාමු හොදද . මම විස්තරේ ඇහුව, පොඩි කට්ටක් තියනවා කොල්ලෝ. දවස් දෙකක් එළිමහනේ කැලේ තමා නිදියන්න වෙන්නේ. ඉතින් ඒ කට්ට කන්න පුළුවන් අය විතරක් නම් දාමු”
අමිල කතාව අවසන් කලේ ඔහු අත තිබු හිස් කොලයක් සහ පෑනක් මේසය මතට අතහරිමිනි. 
විභාගය නිසා මදක් වෙලේවි උවත් වනයක රාත්‍රී දෙකක් ගතකිරීමේ නොනිත් ආශාව ඒ සියල්ල යටපත් කර දැමීමට සමත්ය.  

සූදානම


නම් ලියු කොලය අමිල අත තැබූ අප නැවතත් පොත් පිටු අතර ගැවසෙමින් දිනෙන් දින ගෙවා දැමුයේ දින තුනක කාලය ඉදිරි සැලැස්මෙන් හිස් කරගත වු නිසාවෙන් මදක් සකසුරුවම් සහිතව අධ්‍යන කටයුතු වල යෙදෙමිනි. විභාගයට දින 14 කට කලින් ලැබෙන අධ්‍යන නිවාඩුව ආරම්භයේ නැවත අපි මුණගැසුනේ ඒවනවිටත් දැනුම් දි තිබු පරිදි  යන එන කටයුතු සුදානම් කරගැනීමේ අරමුණෙනි.
අපේ කාණ්ඩයේ නඩේ ගුරා තනතුර අමිල විසින් හෙබවූයේ නිතැතිනි. අපේ කාණ්ඩයේ පස් දෙනෙකු සමග ඉහල වසර වල සිසුන් සහිත 60ක කණ්ඩායමක් මේවන විට නම් ලබාදී තිබිණ.
“මේ මොනවද දැන් අපි අරන් යන්න ඕනේ. මෙන්න මම ලිස්ට් එක හැදුව හැබැයි මේකේ තියන බඩු ටික අරන් යන්න ඉතින් කලින් අලියෙක්ව අල්ල ගන්න වෙනවා.”   
අදීශගේ කතාව සැබෑ බව මට වැටහුනේ ලයිස්තු ව මෙසය මත දිගහල විටය. අඩි භාගයක් පමණ දිගින් යුතු තීරු කොලයක ලියන ලද ලයිස්තුවේ, අල්පෙනිත්තේ සිට සියලු අවැසි දේ අඩන්ගුවී තිබුනි. අමතර ඇදුම්, ජංගම දුරකථන බැටරි, විදුලි පන්දම්, කුඩාරම් රෙදි, ඉටිපන්දම් , ගිනිපෙට්ටි ආදී සියල්ලම අංගු වූ එහි අඩංගු නොවුයේ කොට්ටයක් සහ මෙට්ටයක් පමණක් බව අමිලගේ මතය විය.
“ඔය ඔක්කොම ගෙනියන්න ඕනේ නැහැ. කොහෙද ඉතින් ලියුම කියෙවුව එකක්යැ . ඕනේ බඩු ඔක්කොම එහෙන් දෙනවා කියල තිබුන අපි අරන් යන්න ඕනේ කැලේ ඉන්න කොට අදින්න හොද ඇදුම් ටිකක් විතරයි”
අමිල කිවේ අපි කවුරුත් අස්වසාලමිනි.
“එත් ඉතින් ටෝච් එකක්, වතුර බෝතලයක් වගේ ඒවානම් අරන්ගියත් කමක් නැහැ ... අනික මතක්කරල ඔය බවලත්තු එක්ක පයුරු පාසානම් තියන උන්දලා ෆෝන් බැටරි දෙකතුනක් අරන් යමු. නැත්නම් මෙතන එද්දී මල හත්තිලුවයි අපහු එද්දී ”.
අප සමග එක්වසිටි නයන කතාව අලුත්කලේ යමක් නැවත මතක්කර දෙමිනි. සාකච්චාව අවසන් වුයේ ඩෙනිම් 3ක් ටි ෂර්ට් 3ක් විදුලි පන්දමක් අමතර බැටරි දෙක තුනක් සහ වතුර බෝතලයක් ගමන් මල්ලට එක්කරමිනි. ඊට අමතරව අප කිහිපදෙනෙක් සතුව තිබු ඩිජිටල් වර්ගයේ කුඩා කැමරාද රැගෙන යාමට අපි ගමන්මලු වලට ඔබා ගතිමු.
දිනය ලගාවෙත්ම ලියලමින් තිබු නොඉවසිල්ල වඩාත් උච්ච අවස්ථාවක තිබුණු ගමනට කලින් දින රාත්‍රීය අලින්ගේ වික්‍රම ගැන ඇසු පිරූ කතාවලින් එකක් විය. කවුරු කවුරුත් තම දත් අලි කතා සමහා බෙදාගනිමින් නින්දට වැටුනේ සුන්දර හස්ථීන් පිලිබඳ සිහින දකිමිනි. ඒ සුන්දර මනස්කාන්ත හස්තීන් සිහිනයක්ම බව එවෙලේ අපි සිහිනෙනිදු නොසිතුවෙමු.

ගමන

එදින උදැසන මතකය අප කාගේත් මතකයන් තුල නොමැකී කාලාන්තරයක් පුරාවට, ඇත්තෙන්ම මියෙන තුරු රැදී සිටිනු නිසැක වන්නේ අප ජිවිතයේ ලද බිහිසුනුම එහෙත් සුන්දරම අත්දැකීම ලද ගමනක ඇරබුම ඒ බැවිනි.
“සිලෝන් ටකරන් බස්” ලෙස අන්වර්තයේ හැඳින්වූ ශ්‍රී ලංගම බස් රථ දෙකක් ආගිරි ගාමින් සරසවියේ ප්‍රධාන මාර්ගයේ කන්ද නගින විට අපි සිටියේ, ලක ලෑස්ති  වී, බඩු මලු රැගෙන, රැස්වීමට කලින් යොදාගත් ස්ථානයේ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. බස්රථ වල ශබ්ධය නැගෙත්ම  කවුරුත් හිදසිටි තැන වලින් නැගිට මදක් ඉදිරියට ගමන් කෙළෙන් අපිද සෙමින් ඉදිරියට ඇදුනෙමු .
අළු දුම් වලාවකින් පිටිපස බස්රථය වසාගෙන ඉදිරියෙන් පැමිණි බස්රථයේ මහියංගන ඩිපෝව ලෙස සටහන්ව තිබු අතර මහියංගන - බදුල්ල ලෙස සටහන්වූ පුවරුව ඉවත්කොට නොතිබිණි. ඒ දුම් වලවෙන්ම අප සියලු දෙනාම වසමින් අප පසු කර ගිය බස්රථය යු වංගුවක් ගසා කෙලින් කරවූ රියදුරු මහතා එන්ජිම නවතන්නට පෙර කිහිප සැරයක් සැර දැමුවේ “කොහොමද මගේ වැඩ !” යන්න කීවාක් මෙනි. සැබවින්ම එවන් අබලන් බස්රථයක් පදවාගෙන කදු පල්ලම් අතර  මෙතරම් දුර පැමිණීම වුවද සුළුපටු කාර්යක් නොවන්නට ඇත.
ඉදිරියෙන් පැමිණි රථයේ දුම් වලාවෙන් වැසි පිටිපසින් පැමිණි බස්රතය අපි පැහැදිලිව දුටුවේ එය නැවත වු පසුය. බෙහෙවින් සමාන වු බස් රථ දෙකෙහිම තැනින් තැන වු දිරුම් අතරින් කළුතෙල් වැහෙන එන්ජිම දක්නට විය. නැවැත්වූ විගස ඉන් බට කිහිපදෙනෙකු විශ්වවිද්‍යාල භාරකාරත්වය වෙත ගමන් කල අතර
“මල්ලිලා නගින්න”
යනුවෙන් එකෙක් කෑගැසියෙන් අපි බස්රථවලට ගොඩවීමු. ජනෙල් පියන් හැරදමා තිබුණු බස්රථවල අසුන් වල දැවටී තිබුණු දුවිලි, අතට හසුවන කොළ කැබලි රෙදි කැබලි වලින්  පිස දැමීමට අපගන්නා වෙහෙස දුටු නිසාවෙන්දෝ කොන්දොස්තර තැන කඩමාල්ලක් අපවෙත පෑයේ.බස්රථයේ ඉදිරි දෙවන අසුනේ ගමන් මලු තැබූ අප නැවත බස්රථයෙන් පිටතට පැමිනියේ රථයේ සිටීමට වඩා එළිමහන ප්‍රිය වූ බැවිනි.
විනාඩි කිහිපයකින් විශ්ව විද්‍යාල පාලනය මුණ ගැසීමට ගිය පිරිස පැමිණි යේ “හරි මල්ලිලා නගිමු බස් දෙකට ” යනුවෙන් සන් කරමිනි.
“අපි පොඩ්ඩක් වාඩි වෙමුද ? දේවල් ටිකක් තියනවා යන්න කලින්ම කියන්න. බස් එක යන්න කලින්ම කියගත්තොත් ලෙසේ මන් හිතන්නේ.”  කී තරුණ වියේ නිලධාරී තුමාගේ පෙනුම අපි කාගේත් සිත් ගන්නා සුළු විය. ඔහු කතාව ආරම්භ  කලේ තමන්ව හඳුන්වා දෙමිනි.

“ඉස්සල්ලම මම ඔයාලට මගේ විස්තර කියන්නම්. මගේ නම සමිත අතපත්තු. මම තමයි දැනට ලෝක්ගල් ඔය රක්ෂිතේ කාර්යභාර වනජීවී නිලධාරී හැටියට වැඩකරන්නේ. ඊට අමතරව මේ අලි සංඝනනේ සැලසුම් නිලධාරි කෙනෙක් විදිහටත් මම වැඩ කරනවා. ඔයාල මට සමිත අයිය කියල කතාකරන්න.”    

Saturday, September 9, 2017

ගඟ......

මිහි මත රැඳුනු 
නුගුණ පිසිනට වැටුණු
කල් අකල් වැසි පිසින 
නුගුණ කඳ එකතුකොට 
එහි බරට හඬමින්
ගලින් ගල හැපෙමින්
විටෙක නිසලව තැවෙමින්
ලෝකවිදූ බව ලබමින්
සඟවයි සියලු දුක්
මුහුදු පත්ලට යොමමින්...................

Friday, July 21, 2017

කරඹ

ඉඩෝරෙට පෙම්බැන්ද
කරඹ මල් පොකුරකට 
වසන්තය අවැසි නැහැ 
ගෙනයන්න ඈතකට 

චන්ඩ හිරු රස ගෙනෙන  
කටු අරඹ සුව යහන
වසන මිහිදුම් එපා
ගෙනයන්න ඈතකට 

කටු තුඩෙහි රැඳී මිහිර 
සැඩ සුළගෙ සුමුදු බව 
නසන වැහි බිඳු  එපා 
ගෙනයන්න ඈතකට

වියලි නටුවෙහි සුවය 
දුහුවිලෙහි ආදරය 
උරන පිනි බිඳු එපා 
ගෙනයන්න ඈතකට......




  

Tuesday, January 10, 2017

නැතිවුණු කවිය

අවර හිරු රැස් නෙතින් දරමින් පුරුදු  අසුනේ තනිවෙලා
බලාසිටියෙමි  ඇගේ අතැඟිලි තිබුණු  ඔහු හා පැටලිලා  
පාළු දුම්රිය පොලේ ඈ හා තැනු මාලිගා ලංවෙලා
විසුනු වී ගිය හැටි මැවේ සිත උදම් රලකට හසුවෙලා

ඔබේ දෙඅතම දරා ලබැදිව දෙඩු බස් සිත් සනසලා
ඔබත් සමගම ගියා මතකින් රළට හසුවී දියවෙලා
පනත් මාවත් සමයි පැවසු සොදුරියක සිත වෙන්වෙලා
පියා යද්දී දැවුණු මාසිත තවත් වැළපෙයි සැඟවිලා

සඳත් ඔබවත් සමව දුටු මා අමාවක අඳුරින් පෙලා
හිරුත් රැගෙනම ගියා ඔබ මා සිතේ දොරගුළු රඳවලා
අදත් සිරවුණු මතක  සිරගෙ මගේ සිතුවිලි හඩතලා
ඔබේ වදනක පහස ඉල්ලයි  මිදෙන්නට දොරගුළු හෙලා

පෙළුණු සිතුවිලි පැලැස්තර කොට නැගෙන විට මා දිරිය ලා
ඔබේ මතකේ යදම් පහරින් යලි පියයි මා බිම හෙලා
නගන්නට සිතුවත් අපේ කව නැවැත්වූ තැන සිට බලා
ඇගේ පද වැල වෙනත් කවියෙකු ඔහුගේ කවියට අමුනලා


 






Tuesday, January 3, 2017

මැම්බර ගේ කුඹුර

අරගෙන උදැල්ලක් දෑතට නුහුරු වන
හපලා විටක් ගැමියෙකුගේ විලස ගෙන
හැදලා සරොන් කඩ පට සළු නැතිව හින
මැම්බර කොටයි පොඩි අප්පුගේ වෙලේ  පැන

වෙනදා නොපෙන්නු දත් ටික පෙන්නාලා
ඔහු හිනැහුනා වට යන එන අය බලලා
"ඇයි මේ මහත්තයෝ ? " ඇසුවෙකු පිරිවිසලා
ඇයි පුදුමදයි ඇසුවා ඔහු විලිස්සලා



ලේකම් තුමා මැම්බර නිවසේ රැදෙන
සරමක් ඇදන් කඩමණ්ඩියේ රැක සිටින
සිරිදාසගේ පවුලට ඔහු මුණ ගැසුන
වග ආරංචීය ඇය රැවටී ඇත එයින

මේ දවසක්ය පුදුමෙන් පුදුමේ ගේන
තව පුදුමයක් එයි පාරේ ඇවිද ගෙන
නෝනා මැම්බරගෙ කිසිදා බිම නොයන
මේ දැන් පැමිණුනා ඇබුලත් හිසින් ගෙන

චන්දෙත් ලග නෑය වසරකි ගත වුයේ
වාසියකුත් නෑය අප්පුව ගෙන් ආයේ
මේ ගම පුරා නැගී කසු කුසුවක් වුයේ
මැම්බර කිමද අප්පුගේ කුබුරේ වුයේ

සැප බස් රියකි ගුරු පාරේ දිග ඇදෙන
දිහුවිලි වලා වට පිට සැම විසුරුවන
කඩමන්ඩියට ඇවිදින් එහි නවතාන
කැමරා කාන්ඩෙකි ඉන් පිටතට අදුන

ගොවි මහතුන්ගේ දුක් ගැනවිලි සොයන්නට
ඒ දුක රටට හඬගාලා කියන්නට
ගම තොට ඇවිද දුක් කරදර සොයන්නට
ආබව කිය  සැම දෙනටම ඇසෙන්නට

අනේ මහත්තයෝ මෙය හොඳ වැඩක් වගේ
යමු මම පෙන්නන්ට ගම ගැන තියන අගේ
ගැමියෙක් විලස හැදී ලේකම් දාන රගේ
දැක සැම දෙනා පුදුමෙන් ගල් ගැසුන වගේ

රජයට පින්දෙන්ට අපි දැන් ගොඩ යාය
මේ ගම එහෙම දුක් නෑ ඔහු පැවසිය
ඔය බෝරු කියන්නට කිසිවෙකු එඩි පැය
නැගි රැවුමකින් යලි ඔහු ඉවතට වීය

බොරුනම් යමු මහත්තයෝ අපි බලන්නට
මේ ගම ගොවි රජෙක් දැන් මුණ ගැහෙන්නට
කියමින් මහතුන්ව කැඳවා ලෙස කුට
ඔහු ඇදුනේය ගම ඇති මහ වෙළ දෙසට

බාලව හැදුව ඇනිකට් එක පසු කරලා
වලවල් පිරුනු මාවත් සැම මග හැරලා
පැල්පත් දුගී පල සඟවා බොරු දෙසලා
පිරිසම ඇදෙයි අප්පුගේ වෙලා දෙස බලලා

අන්න මහත්තයෝ දුප්පත් ගොවි මහතා
කියමින් පැය ඔහු වෙළ මැද උන් ජගතා
හුවක් කියා අඩ ගා පා ගැමි පවතා
ඔහු කැඳවිය මඩ නෑ මැම්බර මහතා

දුක්පත් ගොවියෙකුගේ හැඩරුව මවාගෙන
මැම්බර පැමිණියා බ්යගැති විලාසෙන
මගේ නම අප්පුවා යයි ඔහු කී ලෙසින
තුෂ්නිම් භූත විය ගැමියන් කට ඇරින

හැම කන්නයම පොහොරත් බරටම ලැබෙනා
නිසි ලෙස හැදු ඇනිකට්ටුව හරි වටිනා
මාවත් නැතත් අපි සතුටින් මග යනෙනා
අප්පුට ඇඳපු මැම්බර පිළිතුරු දුන්නා

මේ දෙස සිටින මැම්බර තැන හරි හපනා
අසරණ ගැමියන්ට හොදහැටි සලකන්නා
ආණ්ඩුවේ ගුණ වරුනම පවසමිනා
අප්පුට ඇන්ද මැම්බර තම ගුණ වයනා

මේ සැම ලියා පොත් පත් ටික පුරවාන
කැමරා රූප පිරු කැමරා අකුලාන
නියම ගමක් යයි තමනට පවසාන
මහතුන් ගියා ආපසු බසයත් රැගෙන

මැම්බර මඩෙන් ගොඩවිත් ඇග පිස දාලා
ලේකම් ගෙනා කාරයකට ගොඩ වීලා
දුවිලි නගා ගැමියන් සැම නාවාලා
ඔහු යලි ගියේ සුපුරුදු ලෙස ඔරවාලා






 







Sunday, November 27, 2016

වහර සහ විකාශය නම්වූ ඉතිහාසයේ දෙමාන ...

සොර බොර වැව පිළිබඳ කියවෙන බුලතා යෝධයාගේ කතා පුවත බොහෝ දෙනා දනිත්.. ගැමි වහරේ කටින් කට ආ ඒ පවත නො දන්නේ නම් ඒ මෙසේය.. මෙකල මහියංගණ දාගැබ අඩි 120ක උසින් යුතුව නිමවනු වස් දුටුගැමුණු රජු මහියංගණය අසබඩ රැඳී සිටි සමයයි.එළාර සමග යුද්ධය රට තුලට නෙරමින් පවතින වකවානුවක යෝධයින් සොයා ගම් නියම් ගම් පිරූ කලෙකි ඒ. බුලතා යනු දුෂ්ඨ ගාමිණි ලෙස ප්‍රකටව දුටු ගැමුණු ලෙසින් කිරුළු පලන් කාවන්තිස් රජුගේ දෙටු පුත් හට බුලත් සැපයු ගැමියෙකි. දෙවේලක් අතර මැද ලැබෙන විවේකය අපතේ යනු දරාගත නොහැකි වූ හෙතෙමේ තමා එන මග පසු කොට ආ දියවන්නා ඔය දෙකොන යාකරන්නේ වැවක් තැනීමටත් වඩා විවේකය පලදායි ලෙස යොදා ගත යුතු ලෙස හැඟුණු නියාවෙනි. ගල් පවුරක් බිඳ එදා මෙදා තුර ලංකාවේ නිම වූ එකම ගල් සොරොවුව නිමවා වැවක් ලෙස එය නිමවිය. තනි ශ්‍රමයෙන් ඉදිවූ ලංකාවේ එකම වැව ලෙසද ඒ ඉතිහාසා ගතවේ. කටින් කට පැතිර ගිය පුවත කන වැකුණු දුටුගැමුණු රජු පවත් විමසා බුලතා හා සොරබොර වැවු ඉස්මත්තට පැමිණ දකින දර්ශනයෙන් මහත් පුදුමව, ඔහු විමසා මේසා විසල් වැවක් කරවීමට උදවු වුවෝ කවරහුදැයි අසත්, විශාල සිංහල උදලු තලයකුත් එහා සමව යන සවිමත් කුඩයකුත් පමණකි හේ කියති. ඉන් මහත් සතුටට පත්වන රජු බුලතා යෝධයෙකු ලෙස හඳුන්වා බුහුමන් කොට තම සේනාවට බඳවාගත් බව කියවේ. අනු කතාවක් ලෙස බුලතාගේ ඇබේනිය ද යෝධ කාන්තාවක ලෙස ප්‍රවාදයන්හි දැක්වේ. අද රන්දෙණිගල මාවත ලෙස හඳුන්වන නුවර මහියංගණ මාර්ගය තැනෙන්නේ ඈ අතිනි. කතාව එසේ වහරේ දැක්වෙද්දී.. ග්‍රන්ථාරුඩ විකාශයේ එය දැක්වෙන්නේ වෙනත්ම අයුරකිනි. එක්දහස් අටසිය ගණන්වල ලංකාවේ විසු ආර්. එල් ස්පිටල් නමැති ලේකකයාගේ පොත්වල දැක්වෙන අයුරින් පහත පරිදි වේ. බුලතා වැව නිමවූ විට ඉරිසියාවට පැමිණෙන දුෂ්ට ගාමිණි රජු, මහියංගණ දාගැබ නිමවීමේ ගෞරවය ඔහු පවරාගෙන වැව තැනීමේ නම්බුව තමාට දෙන ලෙස ඉල්ලාසිටි. එයට අකමැති වන බුලතාගේ හිස ගසා මරාදමන රජු හිස වැවට විසි කර දමයි. ශ්‍රී ලංකාවේ සමුර්ධිමත්ම ඉතිහාසය හිමි කලෙක එහි විශාල ප්‍රතිශතයකට නොබිනිය හැකි හිමිකම් කියන දුටු ගැමුණු වැනි රජෙකු එය එසේ කලේ යයි සිතිය හැක්කක් වෙයි සිතීම වටි. නමුත් බටහිර රටවල ඉතිහාසයට එබිකම් කරන ඕනෑම අයෙකුට තමාගේ නම වඩා ගැනීමට අනෙකෙකු පෙලූ රජුන් හා ප්‍රභූන් ගැන මේ හා සම කතා ඇති තරම් සොයා ගත හැක. ලංකාවේ ඉතිහාසය රචිත මෙවන් කෘති ඒ මානයෙන් ලංකාවේ රජුන්ද මන බැලු බවට මෙය කදිම නිදසුනකි. ඉතින් විකාශය ඉතිහාසයට කෙතෙක් බලපාන්නට ඇත්දැයි සිතාගත හැකිද ?

Tuesday, November 15, 2016

කඩුපුල් ගස..

පෙරුම් පුරා වසක් පුරා
බිඳෙන් බින්දේ සුවඳ කවා
පිබිදු මල හිරුට හොරා
ධවල හසින් පෙති සරසා
ආඩම්බර විඳගන්නට
මොහොතක් වත් නොදී කඩා
බුදුන් පුදට රැගෙන ගියා
ගස වැළපෙයි මතින් නුරා.