Sunday, October 30, 2016

මාලු

    "අනේ තාත්තේ අපි යමුකෝ මාලු අල්ලන්න. ඔයා ගිය සතියේ කිවුව අද යනවමයි කියල". 

   පුතාගේ ඇවිටිල්ලේ නිමක් නැත. වදයෙන් බේරෙනු පිණිස කටට ආ ලෙස කියුවද මාලු ඇල්ලීමක් ගැන මම සිහිනෙනිදු සිතා නැත්තෙමි.

    කොහේ හෝ පොතක ලියා තිබු මාලු ඇල්ලීමේ වරුනාව ලියු තැනැත්තා ගැන මට ඇති වුයේ අසීමිත තරහවකි. තවම හතර වසරේ උන් පුතාගේ මනසට එය විසිතුරක් සේ වද්දන්නට ඔහු කෙසේ නම් සමත් විද යන්න තවමත් මට සිතා ගත නොහේ.

"ඉතින් පුතේ කෝ අපට බිලි කොකු.. " 
      ප්‍රශ්නය මග හරින අටින් මම කීවෙමි. වහා කාමරයට දිවගිය පුතු කොළ කැබලි කිහිපයක් ගෙන නැවත දිව ආවේ සිනා මුහුණෙනි. ඔහුගේ අත් අකුරින් සහ රුප සටහනින් නිමවුණු කොළ කැබැල්ලේ බිලි කොක්කක් සාදාගන්නා ආකාරය පිලිවෙලින් ලියේවි තිබිණ.

"මම ඊයේ චන්දරේ මාමාගෙන් අහගත්තා. ඉතින් අපි යමුකෝ එකක් හදාගෙන." 

ගැලවිය හැකි එකම මාර්ගයද ඇහිරී ගිය මම අසරණව බලා උන්නෙමි. 

"හා  හා  දැන් මේ හවස කොහේවත් යන්න ඕනේ නෑ. අද හවස අපි මහ ගෙදර යන්න ඕනේ." 

මගේ ගැලවුමට ආ සමන්ති දිව්‍යාංගනාවක් සේ මට දැනේ.

"අනේ අම්මේ තාත්ත පොරොන්දු උනානේ.."

"හරි හරි මම තාත්තට කියන්නම් කෝ හෙට යන්න කියල.. දැන් යන්න ඇග හෝදගන්න ඕනේ .. බලන්න නටල නටල හැටි"

"හරි එහෙනම් අපි කිරිඅම්මලගේ ගේ ගාව කඩෙන් බිලි කොක්කක් අරන් එමු.. එහෙන්ම කෝටුවකුත් කපාගත්තකි නේද අම්මේ" .. 

අද දවස නිදහස හෙට පෝරකයට යන තෙක්ය, කියමන මා සිතට නැගිණි. මම කිසිත් නොකියා නැසූ කන්ව පුවත්පත දිගහලෙමි.

"ඕව හරි පවු වැඩ පුතේ. මාලු අලනවා කියන්නේ සත්තු මරණ එක.. ඒක මහා පවු වැඩක්" 

සමන්ති පුතුගේ හිස අතගාමින් ඔහු අසලට ගෙන උකුල මත වාඩි කරගත්තේය.

"අනේ හැමදාම නෑනේ අම්මේ.. අනික අපි උන්ව වතුර එකකට දාගෙන එමුකො එතකොට මැරෙන්නේ නෑනේ. මට ඕනේ උන් කෝ වගේද බලන්න විතරනේ. " 

"අනික බලන්න ලැජ්ජාවේ බෑනේ බිලි කොක්කකුත් අරන් මාලු අල්ලන්න යන්න.. හොදට හිටි තාත්තගේ ඉස්කෝලේ ළමයි එහෙම දැනගත්තොත්." 

සමන්ති දෙවන තර්කයද දිගහැරියාය.

මා හා ඈ වුර්තියෙන් ගුරුවරු වීමු. මේ ගුරු නිවස නිවහන කොටගෙන අප මහා ගෙදරින් වෙන්ව දැනට වසර 4කි. සමන්තිගේ මේ තර්කය සැබවින්ම මාද සසල කළේය. "නිහාල් සර් ඔයේ මාලු අල්ලන්න ගිහිල්ල" පාසලේ ළමුන් කතාවෙනු මට මැවී පෙනේ.

"ඉතින් අම්මේ චන්දරේ මාම යන්නේ මාලු අල්ලන්න.. එයා ඒවා විකුනන්නෙත් එක්ක හයියෙන් කෑගගහ. එයා ලජ්ජා නෑනේ. අනේ අම්මේ"

වුර්තිය බේදය හා සමාජ තරාතිරම තේරුම් ගත නොහැකි පිරිසිඳු ළමා වියේ දරුවෙකුට, එය පහදන්නට යාම නොකට යුතු නොව නොකළ හැකි කටයුත්තක් බව මා මෙන්ම සමන්තිද දැන උන්නෙමු.

"හරි හරි ගිහින් ඇඟ හොදගන්න දැන්."

පුවත්පත මදක් පහත්කොට, හරි පිළිතුරක් නොලැබීමේ නොමනාපයෙන් කාමරයට යන පුතු දෙස බැලු මා පුවත් පත පහතලිමි.

"ඔයා තමා වරද්ද ගත්තේ. ඒ වෙලේම ඕක වැරදි වැඩක් කිවුවනම් ඉවරනේ. ගියා මෙතන මාලු අල්ලන එක තවත් රස කරන්න. දැන් ඉතින් කනක් ඇහෙන්න වෙන්නේ නෑ එක්ක යනකන්" 

සමන්ති නොමනාපය නොසඟවා පිට කළේය.

      සවස ටියුෂන් පන්තියකට ගොස් පැමිණි මා නිවසට ගොඩ වූ විගස දිව ආ පුතු මා හට සම්මුක වී නැගු මාලු ඇල්ලීම හා සම්බන්ධ සියලු පැන වලට මම නොපැකිලව හා රසවත්ව පිළිතුරු දිනිමි. ඔහුගේ අවසන් ඉල්ලීම ඉවත දැමිය නොහැකි අඩියකය මා සිටියේ. පොතකින් ලද දැනුම තහවුරු කරනු වස් අහුගේ නිසඟ උත්සාහය බැහැර කිරීමට සිත් නුදුන් නිසාවෙන්, එය මග හැරීම පිණිස, මා බලා පොරොත්තු දනවන පිළිතුරක් ඔහුවෙත පෑවෙමි. කාලයත් පාසල් සහ සෙල්ලම් කටයුතුත් එය ඔහුගේ මතකයෙන් ඉවත්කරනු ඇතයි මා අද වන තුරුත් සිතා සිරියෙමි. එහෙත් ළමා මනස ගැන මා ළදරුවෙකි. එය තහවුරු වී හමාරය.

     මහ ගෙදර ගොස් පැමිණි පුතු අතේ සම්පුර්ණයෙන් සාදන ලද බිලි පිත්තකි. අක්කගේ පුතු ලවා ඔහු එය සදවාගෙන ඇත. වැඩි ප්‍රවෙසමට බිලි කොකක ගලවා හිස් ගිනි පෙට්ටියක දමා දෙන්නට ඔහු අමතක කොට නැත. වඩා දිග ලියක් වෙනුවට කෙටි කුරටිය පොලු කැබැල්ලක එතු තංගුස් නුල අතර තැනෙක වියලි බට පතුරකින් තැනුනු ඉප්පිල්ලක්ද සවිකර තිබේ.

නිවසට පැමිණි වහා බිලි පිත්ත හා බිලි කොක්ක සහිත ගිනිපෙට්ටිය ඇඳ අසලම තැනෙක තැබූ පුතු නැවත දිව ආවේය.

“තාත්තේ හෙට උදේම යමු. චන්දරේ මාම කිවුව ඔයේ පහල මාලු ඉන්නේ උදේට කියල.”

“හා හා දැන් ගිහින් නිදියගන්න.. කෝ දත් මැදල කකුල් සෝදාගන්න” සමන්ති ඔහුට හරස් විය.

ප්‍රශ්න පත්‍ර කිහිපයක පිළිතුරු පරික්ෂාවට කාලය වැයකළ මා නිදන්නට මොහොතකට පෙර පුතුගේ කාමරයට හිස යොමු කලෙමි. සුව නින්දේ පසුවන ඔහු අසල පෙනෙන මානයේ බිලි පිත්ත තබා ඇත.
මම කාමරයට ආමි.

“ආ ඔයා තාම නිදි නැද්ද”. 

තවමත් නොනිදා ගෙතුමක නියැලෙන සමන්තිගෙන් මා විමසීමි.

“නිදිමත නෑ තාම.  එනිසා ඔයා එනකන්ම හිටිය. ඉවරද බලල.”

“හ්ම්ම් නෑ තව ටිකක් තියනවා. එක නෙමේ මම මේ කප්ලනා කලේ හෙට මේකව කොහොමද මාලු අල්ලන්න ගෙනියන්නේ කියල.” 

මම දැවෙන පැනය ඈ වෙත පෑවෙමි.

“අනේ මන්ද හෙට නම් යන්නම වෙනවා. හැබැයි මෙපාරනම් ඕක හොද නැති වැඩක් කියල කියල දෙන්නම ඕනේ හොදද ?”. 

තරවටුවක ලීලාවෙන්ය ඈ මාවෙත පවසන්නේ.

“කියල දෙන එක නෙමේ මම මේ කල්පනා කරන්නේ. අදුනන කවුරු හරි එහෙම දාකොත් වසල හමාරයි. ඇර ඉන්දු ලගේ ගෙවලුත් ඔය ගාව. මුළු ගමම ගිනි තියාවි පැයකින්. ආයේ ඔලුව සරමෙන් වහන් තමා යන්න වෙන්නේ.”

“ෂාහ් මාරු එකට තියෙයි නිහාල් ඉස්කෝලේ මහත්තය සරම ඔලුවේ දාන් ඉස්කෝලේ යනකොට” 

කෝල ලෙස සිනාසුනු සමන්ති මගේ උර හිසින් තල්ලු කර දැමුවාය.

“ඔයානම් හිනාවෙයි. මම එපාය යන්න.” 

නොමනාපයෙන් ඈ දෙස බැලුවද අගේ මේ ගතිය මා ඉතා ප්‍රිය කලෙමි. ඕනෑම වෙහෙස කර අවස්තාවක් සමනය කරන කලාව ඈ ප්‍රගුණ කර සිටියාය. අගේ සිනහවත් ප්‍රහසනයේ ඇති හැකියාවත් ඊට සරිලන කළමනාම විය.

“යමු මමත් එන්නම්, අපි ඔයට නොයා වැවට යමු හුග දවසකින් ගියෙත් නෑනේ. අනික මටත් බැරිය නිහාල් ධිවර මහත්තයාගේ වැඩ බලන්න.” 

ඇගේ අදහස මා සිත් ගති. ගුරු නිවාස සහ පාසල පිහිටි ඉසවුවෙන් සෑහෙන එපිට පිහිටි වැව අසල මානයේ මා දන්නා හදුනන කිසිවෙකු නැත. නොදැන යමෙකු සිටියද එවන් පණිවිඩයක් පාසලට එන්නට තරම් සුදුසු පසු බිමක් ගොඩනගේයි සිතීම උගහටය.

“ෂාහ් ඔයාගේ මොළෙත් වැඩ කරනවා එහෙනම්..” 

සිතට නැගුන සතුටත් සමග කොලොප්පමකින් මා ඈ පැසසිමි.

“ඇයි මට මොලේ නැද්ද ? ඔවු ඉතින් මොලේ තිබ්බනම් මම මෙයාව කසාද බඳිය.” 

නොමනාපයෙන් හා හසින් යුතුව ඈ මගේ කොලොප්පම පිළිගත්තාය.

“තාත්තේ නැගිටින්ඩෝ”

  වෙලාව උදෑසන හත පසුවන්නට නැත. පුතුගේ හැඳින් මා අවදි උනෙමි. සමන්ති උදෑසනම අවදි වන්නට ඇත. තේ කෝප්පය රැගත් ඈ මාවෙත පැමිණියේ සුපුරුදු කලබල රහිත ගමනිනි. සතියේ දිනවල උදෑසනින් අවදිවන ඈ මාද අවදි කරතත් සති අන්ත වල බොහෝ විට එය සිදු නොවේ. සෙනසුරාදා ඉරිදා දිනවල බොහෝවිට මා අවදි වන්නේ අටේ කණිසමට නුදුරුවය. එහෙත් ඈ සුපුරුදු පරිදි අවදි වේ. සමහර දිනවල මා අවදි වන විට ඈ උදෑසන අහාරයද සුදානම් කර අවසන්ය.

“ඔය ඉතින් තාත්තට නැගිටින්න දෙන්නකෝ ළමයෝ. යන්න මුණ සෝදාගන්න. ”

“අනේ තාත්තේ අපි උදේම යන්න ඕනේ නැත්නම් මාලු නැතිවෙයි.”

“හරි හරි අපි උදේම යන්න ඕනේ ඔයාට යනවනම් නේ අපි යන්නේ වැවට. වැවේ මාලු ඕනේ වෙලාවක ඉන්නවා.” මම ඔහු අස්වසාලනු වස් පැවසීමි.

“හුරේ අපි වැවට යනවා .. ” ඔහු ඇඳ මතට පැන මා වටා නටයි.

    උදෑසන ආහාරය ගෙන පිටත් වන අතින් මාත් සමන්තිත් කටයුතු සුදානම් කළෙමු. වසරකට පමණ පෙර මිලදීගත් හොන්ඩ මෙට් වර්ගයේ මෝටර් සයිකලය නිවසේ කටයුතු වලට මනාව පිරිමසුනි. දිගු ගමන් සුලබනොවූ සමන්තිගේ සහ මගේ සරල දිවියට බයිසිකලය බොහෝකොට සෑහින. ඇරත් රෝද හතරක රථයක් පිලිබඳ සිහිනයක්ටවත් අප දෙදෙනාගේ පඩිපත නොසහුණු බව අප දැන සිටියෙමු. මේ මේ නිසාවෙන්ම එක්තරා පරිස්සම් ශීලි හැඟීමක් බයිසිකලය කෙරෙහි අපතුල විය.

    කුඩා හිස් ආවරණයක් පැළඳ වූ  පුතු සමන්තිත් මාත් අතර හිඳුවා කළමනා සියල්ල ඉදිරිපස කුඩයේ රැඳවීමි. වතුර බෝතලයක්, සමන්ති විසින් සකසන ලද පාර්සලයක් සහ බිලිපිත්ත ඒ තුල විය. බිලි කොක්ක සහිත ගිනි පෙට්ටිය වැඩි ප්‍රවෙසමට සාක්කුවේ රන්දවාගතිමි.

“අපි යනගමන් පාන් බාගයක් අරන් යමු ඇම විදිහට හයි කරන්න.”.

   ඇම වෙනුවට පනුවන් සවි කරනු තබා මලු ඇල්ලිමටවත් අකමැති වූ මා පාන් යොදා මාලු ඇල්ලීම තොරාගත්තේ සිතට දැනෙන වැරදි සහගතවබ අල්ප මාත්‍රයකින් හෝ අඩු කරලීමේ පරම අටියෙනි.

    වැවු පිටියේ මෝටර් සයිකලය ඇතුළු කරන විට උදෑසන 9.30 පමණ වන්නට ඇත. සෙවන ඇති තැනක් සොයා වැවු ඉහත්තාවට පැදවූ මා තවත් බයිසිකලයක් නවතා ඇති තැනක් දැක එතැන නැවතිමි.

 පෙනුමෙන්ම ධීවරයෙකු බව කිව හැකි තලතුනා අයෙකු දිගු බිලිපිත්තකින් මාලු බාන ආකාරය මට පෙනුනි. මා දෙස බලු ඔහු මද සිනහවක් නැගිය.

“මාලු අහුවෙනවද අයිය..” 

මම හඬ අඩුකොට ඔහුගෙන් විමසුවේ ඔහුගේ කටයුත්තට බදා නොකිරීමේ අටියෙනි. එහෙත් ඉහුට එහි වෙනසක් නොවිය.

“මෙහරියේ මාලු ඉන්නවා මහත්තය.. මොකෝ මාලු අල්ලනද ?” 

ඔහු සාමාන්‍ය කට හඬින් මාත් බිරිඳත් දරුවාත් දෙස බලමින් ඇසිය.

“ඔවු මේ පුතාට මාලු අල්ලනවා බලන්න ඕනෙලු. ඉතින් එක්ක අවා” 

මම සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි. හදිසියෙන් ගැස්සී ගිය බිලිපිත්ත වහා ඇදගත් ඔහු එහි අමිනි සිටි කොරලියෙකු ගලවා පසෙක රඳවා තැබූ මල්ලට හෙළිය.

“අන්න දැක්කද තාත්තේ අනේ අපිත් අල්ලමුකෝ.”

බිලි පිත්ත කෙලවර බිලි කොක්ක ඇමිණු මා පාන් කැබැල්ලක් පොඩිකොට එහි ඔතනු දුටු ධිවර තෙමේ ඒ දැක සිනාසී

“ඕක නම් හරියන්නේ නැහැ මහත්තය මුන් ඕක කාල සුරුස් ගාල මාරුවෙයි. පනුවෝ ගහන්න බැරිනම් ඔය අට්ටික්ක මදයක් ගහන්න”  යයි උපදෙස් සැපයිය.

වැවු ඉවුරට ආසන්නයේ සුලබ ගසකි අට්ටික්ක. පත්වූ ගසකින් ගෙඩි කිහිපයක් කඩාගත් මා ඉන් එකක් තීරුවක් සේ පලා බිලිකොක්කට ඇමිනිමි. පරිසරය නිසලය.. කිසිවෙකු කිසිඳු හඬක් නොනන්වයි. ඉඳ හිට නැගුනු සුළගේ සිලි සිලියත්, කුරුළු කුජනයක හඬත් හැරුණු කොට නිහැඩියාව බිඳී එකම හඬ  පෙතියෙකු හෝ දන්ඩියෙකු දිය මතුපිටට ගැසූ කරණමක ජබුක් නාදය පමණි.

මා නිහඬව ජලයේ පාවෙන ඉපිල්ල දෙස බලා සිටිමි. මා පිටුපසින් සිටගත් පුතාගේ කරමත දෙඅත් තබා ගත්  සමන්තිද නොසැලෙන දෙනෙතින් යුතුව බලාසිටි.

විනාඩි කිහිපයක් ගතවන්නට ඇත. හදිසියේ දැනුනු සෙලවීමකින් පසුව ඉපිල්ල ජල තලය තුල නොපෙනී ගියේය.

“මහත්තය අදින්න එපා”

 මා අසලම උන් ධිවරයාගේ හඬත් මගේ ඇදීමත් එකවිටම සිදුවුවකි. මට එය වලකා ගත නොහැකි විය.

“ඇයි ? ” 

මම ඔහු විචාළෙමි.

“මහ හුන්ගෙක් වැදුනේ දැන් ඉතින් කොරන්ඩ දෙයක් නෑ ඔන්න ඔහේ ගන්ඩ මහත්තය මන් ගලව දෙන්නං. ”

ඔහුගේ බිලිපිත්ත අත්හල තෙමේ මා අතාවු පිත්ත රැගෙන එය උඩට ගන්නට විය. සැබවින්ම මා දුටු ජුගුප්සා ජනකම මාළුවා ඒ විය. අඩි දෙක හමාරක් පමණ දිග කළු පැහැ මාලුවෙකුට වඩා සර්පයෙකු වැනි මසෙකු බිලිපිත්තේ ඇමිනි තිබිණි.

මාත් සමන්තිත් පුතාත් එකසේ තුෂ්නිම් භූතව බලා හුන්නෙමි.

“ඊ ඒ මොකෙක්ද ඒ” සමන්ති පිලිවසා සිටියාය.

රවුද්‍ර මුහුණක් සහ රතු පැහැ පැහැදිලි දෑස් යුගලක් හිමි මත්සයාගේ මුව වටා රවුල් ගස් මෙන් පිහිටි ගනකම කෙඳි හතර උගේ දරුණු පෙනුම තහවුරු කෙරිය. වඩාත් පුදුම සුළු වුයේ උගේ ගොඩ පැමිණීමත් සමග නිකුත් වන්නට වූ “චියාවූ” හැඳින් සිදුවන හඬ ගෑමයි. මා මසෙකු හඬ නගනවා දුටු පළමු වතාව ඒ බව කිව යුතුමය.  සැබවින්ම ඒ මත්සයා නිකුත්කළ හඬක් බව සිතාගන්නට සුළු මට වෙලාවක් ගතවිය.

වහා මත්සයා බිම හල ධිවර තෙමේ  බිලිපිත්තේ නුල ගලවා අසල පඳුරක පටලවාලිය. බිම වටුණු පසු මත්සයෙකුට වඩා සර්පයෙකුගේ කඩිසර කමින් සහ ගමනින් නැවත කල තලය දෙසට ඇදෙන මත්සයා දෙස අපි සැවොම බලා සිටියේ බියත් හිරිකිතයත් මුසුවූ ගුප්ත හැඟීමකිනි.

“හරි රස මාලුවෙක් මහත්තය හැබැයි හැරීම අමාරුයි බේරෙන්න. පේනවනේ දඟලන දැගලිල්ල. අනික මේකාගේ දල පාරක් වැදුනොත් යේ හත් දවසකට උන බහින්නේ නෑ”

බැඳ දැමු තන්ගුස්පට ටිකෙන් ටික කෙටි කරමින් ධිවර තැන පවසද්දී අපි තව තවත් උගෙන් ඈත වීමු. පුතුගේ වෙවුලිම අතට දැනුනු නිසාවෙන් මම ඔහු වඩා ගත්තෙමි.

“පුංචි මහත්තය බයවුනාද ? හෙහ් හෙහ්.. එහෙම තමා මලු අල්ලන රස්සාව ලේසි නෑ.. මේ මාළුවා ගෙන් කට්ට බේරගන්න යන එක හැරීම අවදානම් වැඩක්. යේ මු ගොඩ උන්න කියල මැරෙන එහෙකුත් නෙමේ.. දවස් ගානක් ගොඩ හිටියකි.” ඔහු තවත් විස්තර එක්කරයි

“තාත්තේ අපි යමුකෝ” 

හැඩුම් බර හඬකින් නැගුනු පුතාගේ ඉල්ලීම නොවුවද ඒ ස්ථානයෙන් වහා ඉවත්විය යුතුයි මටද සිතේ.

“කට්ට නම් නැතුවට කමක් නෑ දැන් මේකට මොකද කරන්නේ”.මම මගේ පැනය නිදහස් කලෙමි.

“මහත්තයලට ඕනේ නම් මම මුව කපල දෙන්නම් ගෙදර ගෙනියන්න.” . 

මාළුවා ගේ කෙටි වූ නුල අසලින් එල්ලෙන ලෙස අල්ලා පාමින් ඌ නගන “චියාවූ” හඬ අතරින් ඔහු පැවසිය.

“අනේ එපා. අපිටනම් එපා” 

සමන්ති වහා ඉදිරිපත් විය.

“ඔවු ඔවු ලොකු උන්නැහේට ඕනෙනම් ගන්න. නැත්නම් වතුරට දාන්න” 

මම වහා ඔහුට පැවසීමි.

“එහෙනම් මම අරන් යන්නම්” 

සිනා මුසු මුහුණින් පැවසු ඔහු මාළුවා මල්ලට අතහැර ඔහුගේ බිලිපිත්ත අතට ගත්තේ යලිත් තම කාර්ය අරමුණු කොට ගනිමිනි. මල්ල තුල පන ගැහෙන අනෙකුත් මාළුන් අතර නලියන දඟලන හුන්ගාගේ හඬ නැවත නැගී ආයේය.

“අනේ අපි යමුකෝ.. ” පුතා හඬන්නට පටන් ගත්තේ ය. “අනේ අම්මේ යන්කො..”

නිවසට පැමිණෙන තෙක් කිසිවෙකුත් වචනයකුදු කතා කලේ නැත. නිවසට පැමිණි වහා ඇඳට නැගුනු පුතු සුව නින්දකට එළඹියේ ගමන් මහන්සියටත් වඩා සිතේ මහන්සිය නිසා යයි මට සිතේ.

“අම්මේ ඇති ඔයින් ගියා. මට තාමත් ඇහෙනවා වගේ ඒ මාළුවාගේ සද්දේ” 

මම කිසිත් නොකීවෙමි. බයිසිකලයේ කුඩයේ තිබු පාර්සලය රැගෙන ආ සමන්ති ඉන් රැගත් පාන් පෙති දෙකක් මා අත තැබීය.

රෑ නින්දෙන් කිහිප වරක් බියවූ පුතුට සමන්ති අසල නිදන්නට ඉඩ හැර මම ඇඳේ අනෙක් පසට වීමි.

“හැබැයි මෙපාරනම් ඕක හොද නැති වැඩක් කියල කියල දෙන්නම ඕනේ හොදද ?” 

සමන්තිගේ තරවටුව මගේ සිතට නැගෙයි. තවත් එය වලංගු නොවෙන බව ඈ මෙන්ම මාද දනී.

2 comments:

  1. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් ලැබෙන දැනුම ජීවිත කාලය පුරාවටම පවතී. අත්දැකීමෙන් කියන්නෙ. ඔයිට සමාන අත්දැකීමක් මටත් තියනව.

    එළ කතාව

    ReplyDelete
  2. හොඳ කතාවක්.

    ඇත්තටම හුංගෙක් මට ඇනලා තියෙනවා. පොඩි කාලේ ඇලවල්, වළවල් අත අරින්නේ නැහැ ඒ කාලේ. උන ගන්නවා හරිම කැක්කුමයි. හුංගා මාලු හරි රසයි. දන්නේ නැති කෙනෙකුට හුංගෙක්ව හැන්ඩ්ල් කරන්න බැහැ. වතුර නැතිව සෑහෙන්න වෙලාවක් ගොඩ ඉන්න පුලුවන් මාළුවෙක්. මගුරාත් මේ වගේ.

    ReplyDelete