Saturday, October 15, 2016

වැස්ස

     
    මාස දෙක තුනක දාහය නිමමින් අද හැලෙන වරුසාව පොල් අතු වහලය සෝදා හරිමින් පොල් කොළ අගිස්සෙන් බිමට බේරේණු ටිකිරි බලා සිටියේ භාවනාවක නියලේන්නෙකු සේය.

   මහ කන්නයට වහිනවැස්සේ හෝ හඬ සුසර කරමින් විටින් විට නැගෙන සුළඟ ,බිම වැටෙන්නට කෝලයෙන් පොල් අතු අගිස්සේ රැඳී ලතවෙන ජල බිඳු බිමහෙලන්නට කරන තරවටුවක් සේය.බිම වැටෙන ජල බින්දු එකිනෙක ඇමිනෙමින් සැදුනු දිය දහර මිදුලේ අඩු ලුහුඩු ඔස්සේ පැනෙමින් ගොස් , ගුරු පාරත් කඩුල්ලත් අතරින් රිංගා වක් ඇලට වැටෙන්නේ කුඩා දිය ඇල්ලක් තනමිනි. දෙපැයකට පෙර කොටු වැටුණු ගුරු පැහැ සාළුවක් සේ දිස්වූ වියලි වක් ඇල, ඒ ඉරි මකා දෙඉවුරු සෝදා හරිමින්  ගලායමින් තව තවත් තරවේ.

    අඩුවක් නැතිව වැටෙන වැසි බින්දු ගෙනෙන සිසිලස ටිකිරිගේ සිතට මෙන්ම ගතටත් අලස බවක් එක්කළේය. මෙතෙක් වෙලා ඈඳීගෙන හුන් බිත්ති කන්ඩියෙන් මෑත්ව ගෙතුලට ඇදුනු ඔහු ඉලත්තට්ටුව රැගෙන පිල මතට විත් වාඩි වී පුවක් ගෙඩියක් ඒදන්නට වුයේය.

       අට විසි වියැති ටිකිරි තවම තනිකඩයෙකි. දෙතුන් වසරකට උඩදී වියෝවූ මව ටිකිරිට සිටි එකම නෑදෑයා වුවාය. මි වැව ගමේ බොහෝ දෙනා මෙන්ම ටිකිරිද ගොවිතැනෙන් දිවිසරිකරගත් ගොවියෙකි. පියාගෙන් උරුමවූ වී පැල 7-8 තනිකඩ ඔහුගේ බත වසර කිහිපයකට උව සරි කිරීමට තරම් මහත්ය.  

      අඩුවැඩිය අඩුක්කොට බුලත් විට කටේ ඔබාගත් ටිකිරි සරොම කහපොට ගන්නා පිල් පඩිය මත වාඩි ගෙන, මිදුල මතට හෙලු කෙල පීඩ වහා සෝදා හල වැසි දිය, ඒ වක් ඇලට එක්කළේය. ගුරුපාරට ඔබ්බෙන් වූ වෙල් යාය එකම ජල තටාකයකි. යල කන්නයේ වගාවෙන් ඉතිරි වූ ඉපනැල්ල වසා නැගී දිය කඳ ලියදි සතරකොනේ බැඳී උස් නියර පරයමින් නැගී ඇත.

    එදෙස බලා සිටි ටිකිරිගේ මනස මෑත අතීතයට දිවයන්නේ. වැව බොර කිරීමෙන් සති කීපයකට පසු ගන්දියෙන් පිරෙන වැවු තලය සුපැහැදිලි ජල රටා මවන්නේ සුටුවන් සිත ඇද බැඳ තබමිනි. මි වැව පිරිපුන් දියෙන් බැබලෙන දිනෙක සිදු වූ පහුගිය කන්නයේ කරෝලිස් ගේ පැමිණීම අදමෙන් ටිකිරිගේ මතකයේ ඇත. ටිකිරිගේ කුඹුර පිහිටි යායේ අත්තම ගැන පණිවිඩ රැගෙන යන්නා කරෝලිස් බවට කිසිවෙකුගෙන් ලද පත්වීමක් ඔහු සතුව නොවූවත්  රාජකාරියකට වඩා බැතියෙන් ඔහු එය ඉටුකරයි.

“ටිකිරි මලේ .. ඔන්න පයින්ඩේ දුන්නා”

සෑම කන්නයකම ඔහු ගෙට ගොඩවන්නේ මේ නොවෙනස් ප්‍රස්තාවනාව සමගිනි. ඔහු පණිවිඩය නොකීවද ටිකිරි ඔහු ආ කාරණය දනී.

“ආ වරෙන් වරෙන් කරෝලිස් අයිය”

“ඔන්න මලේ අදත් අන්තිමටම අවේ උබලයි ගෙදෙට්ට. ඔන්න ඔය විටක් ගමුකො බන්.”

      කරෝලිස් අත්තමේ පණිවිඩය ගෙනයන රාජකාරිය භාරගත් දින වකවානු ටිකිරිගේ මතකයේ නැත. එහෙත් ඒ සෑම දාකම ඔහු ටිකිරිගේ නිවසට ගොඩවන්නේ අවසන් වශයෙනි. ටිකිරිගේ සංවාද ශීලි භාවයත් දීමෙහි ඇති ගුණයත් මිට හේතුවන්නට ඇති සේය. ඇරත් බුලත් විට කෑමෙහි ටිකිරි මෙන්ම රුසියෙකු වූ කරෝලිස් ටිකිරිගේ ඉලත්තට්ටුවේ රසය හැඳින්නේය.

“හිටින් අයියේ මේ කොළ උදේ කඩපුවා. මම අන්න එන්නම් දළු කොළ ටිකක්.” ටිකිරි හරක් ගාල කෙලවර වූ රට බුලත් වැල පීරා කඩාගත් අලුත් බුලත් කොළ කිහිපයක්ය  ඉලත්තට්ටුවට දමන්නේ.

“ඉතින් උබත් කාහන්කෝ විටක්..”  

කරෝලිස් විටට අඩු වැඩිය සකසමින් ටිකිරිටත් ඉලත්තට්ටුව දක්වයි.

“උණු වතුර ඩිංගක් පැහෙන්න තිබ්බ කහට කෝප්පයක් බොන්ඩ. කරෝලිස් අයිය ඩිංගක් හිටියනම් තේ ඩිංගක් බීලම විටක් කෑහැකි.”

“නෑ ඕනෑන්නෑ. මට රාළ හාමිලයි  ගෙදරින් කහට කෝප්පයක් ලැබුණ. උබ හදන බිහන්කෝ” 

    විට කට තුලට හොවමින් කරෝලිස් පවසන්නේ ඉලත්තට්ටුව පිල තුලට තල්ලු කරමිනි. කිහිප විඩක් පෙළ ගසා හුණු අඩුව සකසා ගන්නා ඔහු බුලතේ රත් පැහැයෙන් සෑහුණු විට කතාව පටන්ගනී.

     කහට කෝප්පයක් හකුරු කෑල්ලක් සමග අතින් ගත ටිකිරි පිලේ වැඩි වන්නේ කතාවටය.

“හමාදාම උබ හදන් කහට බොන්ටද බන් කල්පනාව.. ගෙනෙන්කෝ හොඳ හිරයක්” 

මුලින් මුලින් වදයක් සේ සැලකුවද මවගේ වියෝවෙන් පසු දැනෙන තනිකම ටිකිරිගේ මතයද වෙනස් කොට ඇත.

“එකනම් හැබෑව කරෝලිස් අයියේ.. ඇර මක්කටෙයි බොරු කියන්නේ මුලින් තනියෙන් හිටින්ඩ හිතන් උන්න මම ”

වෙනදා මෙන් කතාව වෙනතකට හරවනු වෙනුවට ටිකිරි කතාවට රුකුල්දෙයි.

“හ්ම්ම්.. බලපන් මේ ගේ පාලුවට යන හැටි.. අපේ රළු අත්වලින් මොක කලත් වැඩක් නෑ බන් මෙඋවට හරියන්නේ ගෑණු අත ම තමා. ඇයි ඉතින් උබ තවත් තෙපර බාන්නේ”. කරෝලිස් ඍජුවම තම මතය ලිහාලයි.

“ඔය කිවුවට ඕව හදිසියට කරන්න පුලුවනෑ බන්.”

“නැද්ද උබට හිතගිය එකියක් එහෙම.” 

කරෝලිස් ඇසෙන් ඉගියක් කොට කෝල ලෙසින් අද පැද අසන්නේ ටිකිරිගේ විලිය නංවමිනි.

“එහෙමට කියල නෑ බන්.. ඇරත් කවුද මට හිර දෙන්ට කැමති..” 

ඇගට පතට නොදනී කියන ටිකිරිගේ සිත සිළිඳු ගේ රුවෙන් පිරියන්නේ මහා වැස්සෙන් වක් ඇල පිරි යන මෙනි.

    ගිය අත්තමට දොඹේ ළඟ කුඹුර වපුරන අතර ඇඹුල රැගෙන පැමිණි සිළිඳු ටිකිරිගේ සිතේ සදහටම පැලපදියම් වූ බව දන්නේ ඔහුම පමණකි. සෙතන්ගේ නැන්දනියකගේ දුව වූ ඇය මොර හේන සිට නෑගම් ආ එකියක බවත් නම සිළිඳු බවත් ඔහු දැනගත්තේ සේතන් විසින් රාළහාමිට කල හැඳිනීමේ පිරිවිතරිනි.

      සිහින් ගොයම්කරලක් බඳු සිරුරත් පන් ගොබයක පැහැ ගත් බඳත් තනිකඩ ටිකිරිගේ සිත ඇදගත්තේය. කඩිසර ගමනකින් සහ සක සුරුවම් ක්‍රියාවෙන් ඔප වැටුණු ඈ ලබන්නට ඇත්නම් යයි ටිකිරි කල්පනා කල අවස්ථා බොහෝ බව දත්තේ ඔහුම පමණකි.

       නමුත් ටිකිරි දත්තේ එපමණකි. ව්‍යංජන බෙදන විට “තව බෙදන්ටද ?” යන්නට වඩාත් “ඇති ” යන්නට වඩාත් ඔවුන් දෙදෙනා අතර හුවමාරුවූ අදහසෙක් නැත්තේය. එහෙත් බොහෝ වර ටිකිරි ඈ සිහිකලාය. පාළු පිල මත වැතිර සිටිද්දී පොල් අතු වහලේ ඇගේ රූ ඇඳුනු වාර අනන්තය.

“හෙහ් .. බොලා වගේ දස්ස, ගෑනියෙක්ට දුකක් නැතුව කන්ට දෙන්න පුළුවන් එවුවොන්ට, ගෑණු නොදෙන්නේ කවුද බෝල. අම්මප මයේ දුවෙක් උන්නනම් උබට කැපෙන, මම ආයේ දෙකක් හිතන්නේ නෑ දෙනවා.. අම්මප ..” 

කරෝලිස් ටිකිරිව පසසන්නේ අතිශෝක්තියෙන් බව සිතුනද සැබවින්ම ටිකිරි යනු සැපවත් සිරුරක් හිමි සිත් ඇදගන්නා තරුනෙකි.

“මම මේ ආවේ අත්තම කියන්ටම නොවෙයි මලේ.. උබට කාරණයක් කියන්ටත් එක්කම තමා.. මම දන්නා හොද දරිවියෙක් ඉන්නවා.. උබ දන්න කියන තැනක් .. ඔන්න උබ කැමති නම් මම වැඩේ කතා කොල්ල දෙන්නම්” 

කරෝලිස් උවමනාවෙන් ටිකිරි දෙස බලා ඇසුවේ ඔහුගේ මුහුණේ ඉරියවු දැඩි නිරීක්ෂණයට හසු කරමිනි.

“අනේ මන්ද කරෝලිස් අයියේ .. උබට හොද හිතෙනවනම් ඕනේ දෙයක්.. ”
    සිලින්දුගේ මුහුණ යලිත් ටිකිරිගේ මුවේ ඇඳෙන්නේ සුසුමක් අනුව යමිනි. කොතරම් පෙරුම් පිරුවද නොලැබෙන යයි සිතෙන දෙයක් පසුපස යන්නට තරම් ටිකිරිගේ හිත නොදෙන නිසා ආයාසයෙන් හෝ සිලින්දුව අමතක කරන්නට ටිකිරි සිත සකස්කොට ගත්තේ සිතට වඩා අවශ්‍ය තාවයට ඉඩ දෙමිනි.

“කෙල්ල හොඳ කෙල්ල.. උබ ඒකිව දැකල තියනවා බන්.. ඇර මක්කෙයි මන් උබට හංගන්නේ.. කෙල්ලගෙ පියා තමා උබව දැකල මට උබ ගැන කතා කරන්න කිවුවේ. උබට ඒකිව හමුවෙලා තියනවයි කිඋව.. ” 

    බුලත් කෙල පහරක් මිදුලට හෙලූ කරුලිස් රස්බුරුල් කර කතාව යලි අරඹයි. ටිකිරි උවමනාවෙන් සවන්දෙනු ඔහු දුටු නිසාදෝ කතාවේ අගය වඩන්නට ඔහු කතාව නවතා මදක් වෙලේවිවේ.

“මම දන්නා කෙනා කවුද බන් අයිය.. ඇරත් හම්බෙලා තියනවයි කියන්නේ” .. ටිකිරිගේ සිත එහෙමෙහෙ දිවයන්නේ සිත රැන්දියක හා මුණගැසුනු ඉසිඹුවක් ඔහුගේ මතක ඇති කාලයක නොවූ බැවිනි.

“සමහර විට උබට අමතක ඇති බන්.. ගිය කන්නේ වෙලේ ඇඹුල අරන් ආව සෙතන්ගේ නැන්දගේ කෙල්ල සිළිඳු .. එකී බොහොම හැඩ කාර කෙල්ල වැඩටත් දක්...”

කරෝලිස් බොහෝදෙ කියාගෙන යයි. ටිකිරිට ඇසිය යුතු යමක් නැත. කැටිකොට ගත් සරම ලිහාලු ටිකිරි ඉලත්තට්ටුව තමා දෙසට අදිමින්

“මම කැමති”

යයි කිවේ ඈත වෙල් යය දෙස බලාගෙන සැහැල්ලු සිතිනි.

“මහා කන්නේ ඇත්තමට ආවම මම වචනේ දෙන්නම් හෙනං”


වරුසාව තාම නිමක් නැත. වැසි දියෙන් මි වැව පිරි ගිය කල මහා කන්නයට අත්තම ඇරඹේ. ටිකිරිගේ සිත මි වැව මෙන් පිරුණු සොම්නසින් නිසලවෙයි.     

No comments:

Post a Comment