Sunday, October 16, 2016

ඩොල්කි කාරයා

          කොළඹ කොටුවෙන් ගමන් ඇරඹු සීග්‍රගාමී බදුලු දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානය පසු කරනු මගේ මතකයේ යන්තමින් අඳි ඇත. මගේ නින්ද බිඳී ගියේ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ ශබ්ධ විකාශන යන්ත්‍රයේ නාදයෙනි. ඒවන විටත් දුම්රිය නැවතී විනාඩි කිහිපයක් ගතවන්නට ඇති බව මට සිතේ.

       මා අසල සිටි අනෙක් මගියා අසුනේ පෙනෙන්නට නොවිය. අසුනේ කොනක දුම්රිය මැදිරියේ බිත්තියටත් මගේ සිරුරටත් මැදිවී විකුර්ති හැඩයක් ගෙන තිබු වතුර බෝතලයෙන් උගුරක් කටට හලා ගත මා ඉන් බිඳක් මුහුණ මත විසිර වුයේ නිදි මතෙන් බරවූ දෙනෙත් පිසලන්නටය.

     බුලත් විටකින් කට පුරවාගත් මගේ අසුන් සගයා නැවත දුම්රියට ගොඩවූයේ දුම්රිය බැරි බැරියේ ගමන් අරඹන මොහොත හා සමව යමිනි. ගමනේ මුලදීම හුවමාරු වූ වචන දෙකතුනකින් ඔහුත් මාත් අතර සුළු හිතවත් කමක් ගොඩ නැගී ඇත. විට පිරුණු කටින් මද සිනහවක් නැගු ඔහු,

“මහත්තය හොදටම නින්ද ගියා නේද ?” 
යයි ඇසුවේ සරල අව්‍යාජ ගැමියෙකුගේ සුහද බව මොනවට විදහා දක්වමිනි.

“ඔවුනේ අයිය පොල්ගහවෙල පහුවෙනව විතරයි මතක.”

       වයසින් විසි අට වියැති මා 50ස් විය ඉක්මවියයි සිතිය හැකි ඔහුට අයියා ලෙස ඇමතීම සැබවින්ම විහිළු සහගතයයි ඔබට සිතෙනු නොඅනු මානය. පොළොන්නරුවේ ගැමි පියසක, වෙළෙන් දොලෙන් බිහි වැද, බුද්ධි ගලනයේ සැඩ පහරෙන් කොලොන් තොටට විසි වූ මා හට, ගැමි කමේ සාපයෙන් ලැබූ කසපහරක මතකය, මාමා අයියා වීමේ කතාව පසු කොට ඇති බව ඔබට කියනු කැමැත්තෙමි. නැන්දා අක්කා වන්නේද ආච්චි ඇන්ටි වන්නේද යට කී පසුබිම තුලමය.

      මා මෙන්ම ගැමි ජීවිතයකට උරුමකම් කියන නිසාවෙන්දෝ අයියා ලෙස ඇමතීම ඔහුට අපහසුවක් ගෙන ආ වග ඔහු කෙරේ සටහන් විය.

“අහා හා .. එක තමා මම උන්න පුතා මගින් බහිනවා කියල.”

        ඔහු මාගේ වරද නිවරද කළේය. ඒ ඔහු මා පුතා ලෙස ඇමතු එකම හා අවසාන අවස්තාව බව මා මතකයේ ඇත. එතැන් පටන් ඔහුට මා මහත්තයා හෝ පුංචි මහත්තයා විය. මට ඔහු මාමා ය. බුලත් කෙල ගැසීමේ පහසුව පිණිස මම මගේ ජනේලය අසල අසුන ඔහුට පිරිනැමිමි. විවිද මාතෘකා ඔස්සේ ඇදුනු කතා අනුව ඔහු ජිනපාල නම් අව්‍යාජ ගැමියා බව මා තව තවත් පසක් කර ගතිමි.

          ආගිය කතා අතර ගෙවුණු පැයක පමණ කාලයකට පසුව ඔහු විට අලුත් කිරීමට අඩුම කුඩුම සකසන්නට විය. සෝදා කණපිට හරවාගත් කිරි පැකට්ටුවක් යයි අනුමානයෙන් කිවහැකි ඊයං පැහැ උරයක පිළිවෙලට බහා තිබු බුලත් පුවක් හුණු දුන්කොල ගොන්න සීරුවට ලේහමින් ආසනයේ ඔහුත් මාත් අතර ඉඩෙහි තැබූ ඔහු, විට මඩිස්සලේට ඉඩ දීම පිණිස අසුනේ හැකිතාක් කෙලවරට විය. එහිම වූ වක ගැසුණු කුඩා පිහියකින් තැඹිලි පැහැ පුවක් ගෙඩියක් ඒදන අයුරුව ඔහුගේ ඒ කර්තවයේ ඇති පළපුරුද්ද මොනවට කියා පෑවේය.

“මටත් දෙන්ඩකෝ මාමේ විටක්..”

විට රසය කිසිවිටෙකත් මාහට නුහුරු නොවේ.

“හප්පද බෝල මහත්තය විටත් කනවා....? කන්ට කන්ට .. ඉන්ට මම පුවක් ගෙඩියක් එදන්ට .. මේ ගෙඩිය ලා වැඩි”..

        මා බුලත් කොලයේ මුල හා අග කඩා හුණු තවරනු ඔහු බලා සිටියේ පුදුම වුවෙකු මෙනි. ඔහු දුන් පුවක් කැබැල්ල කටේ දමා හපමින් බුලත්විට කටේ දමා ගත මා ඔහු දෙසට හැරෙන විටත් ඔහුගේ බැල්ම එලෙසම තිබෙනු මා දිටිමි.

“මොකෝ මාමා පුදුමෙන් වගේ”..

“හා හා නෑ මහත්තය කොලබ මහත්තයෙක් ඔයතරම් සීරුවට විටක් හපනවා දැක්කමයි මම..” 

ඔහු පුදුමය ඍජුවම ලිහා හරියේ බිඳකුදු නොසගවමිනි.

“කවුද මාමට කිවුවේ මම කොළඹ කියල.. මගේ ගෙවල් පොළොන්නරුවේ .. මම වැඩ කරන්නේ කොළඹ..” සිනහව අතරින් මම ඔහුගේ පුදුමය දුරුකලෙමි..

“එහෙනං ... මන් එත් බැලුව.. මයේත් නංගි කෙනෙක් ඉන්නවා පොළොන්නරුවේ වැලිකන්දේ ..” 

ඔහුගේත් මගෙත් කතාව යලි පන පෙවී ඇත.

       ගමේ කෙලවර කඩේක පිලක සවන්දෙන්නෙක් වීමේ අවස්තාව බොහෝවිට මා ලබා ඇත්තෙමි. පත්තරයේ කොනක තිබෙන පුවතක්, ගමේ කෙනෙකුගේ විපතක් හෝ සැපතක් අරඹයා ගොඩ නැගෙන මෙවන් කතා පැය ගණන් අති ශෝක්තිය, හාස්‍ය , භීතිය සහ විටෙක සෘන්ගාරයත් කැටුව දළුලා වැඩෙන්නේ. බොහෝවිට මෙවන් කතා මවන්නෝ විට සපන්නෝ බව මගේ නිරීක්ෂණයයි.හරි හමන් පදනමක් නැතිදු, බුලතේ පවතින යම් ගුණයක් මේ උදෙසා හේතුවන බව මම දැනුදු විශ්වාස කරමි.  

         බුලතේ උත්තේජය ලදුව දිගට ඇදෙන කතාවේ වචන අවසන් වන නිහැඬියාව වැඩි ඉඩ කඩක් ගන්නා මොහොතක ට අප දෙදෙනා ලගා වන විට දුම්රිය නාවල පිටිය දුම්රිය ස්ථානය වෙත සේන්දු විය.. වහා බස ගොස් හිස් වූ වතුර බෝතලය පුරවාගෙන නැවත පැමිණි මා අසුන වෙත යලි අදුනෙමි.. ඒ මේ අත දුම්රිය ආසන වල වැටි නිදමින් සිටි මගියෝ අවදිවී සිටි නිසාවෙන් දුම්රිය මැදිරිය කඩි ගුලක කඩිසර බැවිනුත් මිමසි කුඩුවක වන් ගුමු ගුමු නදකිනුත් පිරි පැවතිනි..

“කිරි කොපි කිරි කොපි ..”

           හඬ නගමින් අප අසලින් ගමන් කල වෙළෙන්දෙකු නැවතූ මා කොපි කෝප්ප දෙකක් මිලදී ගෙන එකක් පානය කරමින් අනෙක ළඟ තබා ගත්තේ මගේ ගමන් මිතුරා වූ ජිනපාල මාමා උදෙසාවෙනි. පෙර පරිදිම දුම්රිය පිටත්වන මොහොතේ ඔහු මැදිරියට ගොඩ විය.. නමුත් මෙවර ඔහු ආයේ තනිව නොවේ..

“වරෙන් ගුණේ , මේකේ කවුරුත් නෑ ..” 

ඔහු අප පසෙක වූ හිස් අසුනක් ඔහු වෙත ඈ සගයාට පැයේ බොහෝ කලක සිට ඔවුනොවුන් අඳුනන බවට සියලු සාක්ෂි සමගිනි.මම ඔවුන් දෙදෙනා දෙස බලා මද සිනාවක් පෑවෙමි.

“මම කිරි කොපි ගත්ත මාමටත් එක්ක..”

     පරිසරයේ තිබුණු සිසිල් තෙත සහිත බව නිසා ඒ වනවිටත් උණුසුමෙන් මිදෙමින් පැවති කොපි කෝප්පය මම ඔහුට දිගුකලෙමි.

“අනේ මහත්තය. ඒක හොදා මට මේ යාලුවෙක් මුණ ගැහුනා.. ඔන්න අපිට හොද සින්දු ටිකක් අහගෙන යන්න පුළුවන්..”

 කොපි කෝප්පය අතට ගනිමින් ඔහු පැවසුවේ මිතුරා මා දෙසට දක්වමිනි.

       ගුනේ නමින් ඔහු හැඳින් වූ 50 විය ඉක්මවූ පුද්ගලයෙකි. තෙල්ගා සියුම්ව පසෙකට පිරු හිසින් යුතු, පිරිසිඳු සුදුපැහ කමිසයකින් සහ නිල් සුදු මිශ්‍ර මඩකලපු සරමකින් සැරසුණු ඔහුගේ ගෙලවටා වූ දුඹුරු පැහැ ලේන්සුව පැරණි චිත්‍රපට නළුවෙකු මා මතකයේ රඳවයි. සිහින් සිරුරකින් හා කාලවර්ණ සමකින් යුතු උවද සැබවින්ම ඔහු සිත්ගන්න සුළු අයෙකි. නිතරම සිනහවෙන් පිරි මුව සහ මදක් යටට ගිලුණු කම්මුල් ඔහුට අහිංසක බවක් එක්කලේයයි මා සිතමි.

ජිනපාල මා හඳුන්වා දෙන විට මුව පිරුණු සිනහවකින් ඔහු මා පිළිගත්තේය.

“වෙන පෙට්ටියකට නගින්න යනකොට මම අල්ලන් අවේ අපිට සින්දුවක් අහන්න”

ජින පාල මාමාගේ පුර්විකාවේ වූ “සින්දු කීම” මගේ අවධානයට යොමුවූයේ දැන්ය.

“ඒ කිඋවේ මාමේ .. මට තේරුනේ නෑ”

“ගුණේ පටන්ගමුකෝ, ඔන්න බලන්නකෝ මහත්තය..” 

ජිනපාල මාමට ඉවසුමක් නොවිය..

මද සිනහවක් නගාගත් ගුණේ නම් වූ ඔහු දෙස මා කුතුහලයෙන් බලා සිටිමි.

        උරයේ වූ පොදියත් දකුණතෙහි වූ මිටියත් ජිනපාල මාමා පෙර දක්වන ලද අසුනෙහි තැබූ ඔහු. අතෙහි තිබු මිටිය සීරුවට ලේහමින් දුම්රිය අසුන් අතර වූ ඉඩෙහි දිග හැරිය. සැබවින්ම එය කළු පැහ ගණ ඉටිකොලයකි. අසුනෙහි තැබූ අණ්ඩාකාර පොදිය ඉටි කොලය මත තැබූ ඔහු දෙදන බැඳ ඒ අසල අසුන් ගත්තේ භාවනාවට සුදුසුවන ඉරියවුවකිනි. පොදියේ ගැටය ලිහිල්කර පිටතට ගත ඩොල්කිය දුටු මට සියල්ල වැටහී ගියේය. ජින පාල මාමා සිනහවෙන් යුතු මුවෙන් සියල්ල බලා සිටි.

        සැබවින්ම ඔහුගේ ඉරියවු ඉතා පැහැදිලිය නිරවුල්ය. ඉටිකොලය එලීමේ සිට වාද්‍ය භාණ්ඩය පිටතට ගැනීම තෙක් සිදුවූ ක්‍රියාදාමය ඉතා සීරුවට සිදුවුවකි.  ඉටිකොලය බිම ඇතිරීමෙන් ඔහු සැහීමට පත් වුයේ එහි රැලි සියල්ල අතින් පිරිමැද ඉවත් කිරීමෙන් පසුව පමණි. ඉටිකොලය මත හිඳගත් වනම ඔහු එහෙයින් හැකිලුනු රැලි අතරද දෑත් යැවු සැටි මා දිටියෙමි.

            දෙදන ඉදිරියෙන් හරහට තැබූ දොල්කිය දෙකෙළවරින් අරඹා මැදි පෙදෙස තෙක් තෙවරක් ඇත ගෑ ඔහු දොහොත් මුදුන් දී ඊට වඳින විට ඔහුගේ හැදෙ තිබුණු බක්තියට මුහුණ දෙස් දෙනු මා දිටියෙමි. දිගහරි දකුණු කකුල සීරුවට ඩොල්කිය මතින් යැවූ ඔහු එක දෙපා අතර සිරකරමින් “ධා දින්” හඬින් සිදුකල හඬවුම දුම්රියේ කටොර නාදය පරයා සැමගේ නෙත් සිත් ඔහුවෙත යොමන්නට සමර්ථ වීමම ඔහුගේ දක්ෂතාවයට හිඟි පළකළේය.

“මේ දුම්රියේ ගමන් ගන්නා සියලුම වැදගත් නෝනා මහත්වරුන්ට සුබ රාත්‍රියක් වේවා කියල ප්‍රර්ථනා කරනවා!”

          ඒ ඔහුගේ ඇරඹුමයි. සැබවින්ම සිත් ඇදගන්න සුළු කටහඬක් ඔහුට තිබෙන බව කිව යුතුමය. එතැන් පටන් පැයක පමණ කාලයක් තුල ඔහු මුළු දුම්රිය මදිරියම සංගීත සන්ධවනියක ගිල්වාලුයේය . දේව බැති ගී , ආදර ගී, සරල ගී , බයිලා, විරහ ගී මේ සියලු ගීතයන්හි කරන රසායන සංකලනයක් ඔහුගේ ගිතගොන්නේ විය. දුම්රියේ නාදය සැමට අමතකව යද්දී ඩොල්කීයෙන් නැගුනු පැහැදිලි සුමාදුර්ය දුම්රිය මැදිරියේ සැවොම වශී කරගන්නට සමත්විය. එය ලොකු කුඩා රළු සුමට භේදයකින් තොරව සමසේ බෙදිගියා සේය. මුළු දුම්රිය මැදිරියම නිහඬ නිමේෂයක ගිලි යද්දී දුම්රිය ඉදිරියටම ඇදිනි. කොතරම් දුරක් කෙතරම් දුම්රිය නැවතුම් ප්‍රමාණයක් පසුවිද යන්න කිසිවෙකුට නිනාවූ නොවිය.

“බදුල්ල බලා ගමන් ගන්න මේ නෝනා මහත්තයලට සමන් දෙයි හාමුදුරුවන්ගේ පිහිට අරෂාව ලැබෙන්ට ඕන වගේම මේ දක්වා ගීත ගායනා කරලා ඔබතුමාලා පිනවන්ට වරම් දුන්න සරස්වතී මෑණියන්ට බුදුන් දැක නිවන්දකින්ට මේ පින හෙතුවෙන්ට ඕනේ”

ලෙස ඔහු ඔහුගේ ප්‍රසංගය නවතන විටත් දුම්රිය මැදිරිය සම නිහැඩියාවෙන් සාවධානව තිබීය. 

      පෙර පරිදිම තෙවරක් නමස් කාරයේ යෙදී ඩොල්කිය පසෙක තැබූ ඔහු පොදියෙන් අතට ගත්  කුඩා වට්ටියක් බඳු යමක් ගෙන දුම්රිය මැදිරියේ සරන්නට වුයේ රසවින්දනයේ ඔහුගේ භාගය අපෙන් පතමිනි. රසය සැමගේ සිතට දැනුනු සේය. වචනයකුදු නොකියා සියයේ පනහේ කොළවලින් ඔහුගේ වට්ටිය පුරන්නට දුම්රිය මැදිරියේ රසික සිත් හුනුවි ඇත. කළා තුරකින් ලැබුණු දහයේ කොළයත් ඇති හැකි අයගේ සියයේ කොළයත් ඔහු පිළිගත්තේ එකම සිනාවෙනි.

        වටයක් ගොස් නැවත තම අසුනට පැමිණි ඔහු දිග හැරී සුරුවමින්ම පොදිය අසුරන්නට වුයේ මදකුදු හදිසියක් නොපෙන්වමිනි.

“කොහොමද මහත්තයෝ සංගීතේ..”

 ජිනපාල මාමා මගේ මනෝ භාවයට එල්ල කල වදන් පහරින් මම පිබිදුනෙමි.

“ෂාහ් මරුනේ මාමේ.. ඇයි මේයා කෝච්චියේ සින්දු කියන්නේ.. හරි දක්ස මනුස්සයෙක්නේ” 

මම ඔහුදෙස බලා පැවසීමි.

“ඒවා නම් දිග කතා මහත්තයෝ.. හැබැයි මිනිහට මේකෙන් වැරද්දක් නෑ.. දැක්කනේ කට්ටියගේ සැලකිල්ල.”

“එත් මන් කියන්නේ අපරාදේ.. ” මම මගේ අදහස තවත් තර කලෙමි.

බඩුටික සීරුවට නවා තැබූ ගුණේ මාමා අප අසලට පැමිණ වාඩිගත්තේ පෙර පවතී සිනාවෙන්මය.

“ෂාහ් නියම සින්දුටික බන් .. ඔන්න ඔහෙන් ඉදගනින්”.. 

ජින පාල මාමා බුලත් මල්ල ඔහුවෙත පෑවේය.

මද සිනහවකින් සහ අසාවෙන් එය පිළිගත් ඔහු.

 “එක වටිනවා” යයි පවසා විටක් සකසන්නට වුයේය.

“උබ අද බදුලුද යන්නේ ?” 

ජිනපාල මාම විමසුවෙන් ඔහු බදුල්ලේ නිතර නොගවසේන්නෙකු බව මා සිතාගත්තෙමි.

“ඔවු ජිනේ අයිය .. කෙල්ල බලල එන්ට යන්ට ඕනේ.. ”

“දැන් මොකෝ එකීට.. තාම ගුණයක් නැද්ද..” . මම ඔවුන්ගේ කතාවට කන්දී සිටිමි.

“මොන .. තාම එහෙමම තමා ඒවා ඉතින් කරුම ලෙඩ ජිනේ අයිය.. මරෙනකන්ම ඔහොම තමා.. ” දිග සුසුමක් ඔහුගේ කතාව අග පැටලී ආයේය.

“මම එහා පෙට්ටියට යන්නම් ජිනේ අයිය .. එන්නම් මහත්තය..”

 මෙතෙක් වෙලා ඇත මිට මොලවා සිටි රුපියල් සියය මම ඔහු අත තැබීමි. ඔහුගේ ඩොල්කි නාදයත් අරුම දිවියත් අතර සැඟවුණු දුක්බර කතාවක් ඇතැයි ලද ඉඟි නිසාවෙන් මම ඒ පිළිබඳව විමසිලිමත් වීමි.

“මොකද්ද ජිනපාල මාමේ ගුණේ මාමගේ දුවට තියන ලෙඩේ..”

“හ්ම්ම් එකනේ මහත්තයෝ මම කිඋවේ දිග කතාවක් කියල.” ඔහු රල් බුරුල් කර හැර කතාව පටන්ගත්තේ දිග කතන්දරයකට සැරසෙන සේය.

“මම ගුණපාල අදුනන්නේ බදුල්ලට රේන්ද ලොරිය එලවන කාලේ මහත්තයෝ. අපි බදුල්ලට ආවම නැවතුනේ ඔය ස්ප්‍රින් වැල්ලට කිට්ටුව තියන ලැගුම් පොලක. ගුණයට ඒ කාලේ ඒ ඉසවුවේ කෑම කඩයක් තිඋන.. අපි කෑවේ උගේ කඩෙන්.”

මම වචනයකුදු නොකියා සවන්දෙමි. විට මල්ල යලි අතට ගත් ජිනපාල මාමා යලි විටක් සකසමින් මාවෙතද විටමල්ල පෑවේය  

“මහත්තය තව එකක් කමු” .. 

මම බුලත් කොලයක් ගෙන හුණු ගාමින් ඔහුට සවන් යොමමි. විට කෑමට වඩා මගේ මනස ගුණපාල අරඹයා ඇදීගොස් ඇත.

“හවසට වතුර නාගෙන කඩේට ගොඩ වෙච්චි අපිට ගුනේගේ මායියා අතින් හැදිච්ච කෑම වේල බොහොම අගේට හිටිය. කෑම විතරක් නෙවේ ඔය කටගැස්මට යමක් හදාගන්නත් අපි ගොඩ උනේ එහාටම තමා. පොඩි අඩියක් ගහල කට්ටිය බජවුවක් දාද්දි ගුණේගේ ඩොල්කි සද්දේ වැරදුනේ නැහැ.  එනිසාම ලොරිකාරයෝ අතරේ මනුස්සය හරි ප්‍රසිද්ධයි.”

“ඉතින් දැන් ඇයි මේ කොච්චි ගානේ සින්දුකියන්නේ ..” මගේ ඉවසීම කෙටිය.

“කොහොමින් කොහොම හරි එක වන්ගියක මම යනකොට කඩේ වහල කවුරුත් උන්නේ නෑ.. වට පිට විපරම් කලත් ගුණේ ගැනවත් පවුල ගැනවත් ආරංචියක් තිබුනේ නෑ.. ”

දැන් දැන් ජනේලයෙන් දැනෙන සිසිලස තද සිතලකට හැරෙමින් ගතට කර්කශ බවක් එක්කරයි. වසා දැමුණු ජනේලය මදක් විවරකල බුලත් කෙල නිදහස් කල ජිනදාස මාමා වහා ඒ වසා දැම්මේ එනිසාවෙනි.

“හා කෝ මහත්තය තාම හුණු ගානවද ? ” . 

කතාවේ රසය මා අතාවු බුලත් කොලය අමතක කරලීය. හුණු නොමැති ඇඟිල්ල බොහොවෙලා ඒ මත ඇතිල්ලීමෙන් බුලත් කොලය තැලුණු පැහැයක් ගෙන තිබිණි මම වහා කොලය කටේ දමා ගතිමි.

“ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල මම රේන්ද ලොරියෙන් අස්වෙලා මේ කොළඹ රස්සාවට වැටුනේ. හැබැයි ඒ වෙනකොට මම පවුලක්ප න්සලක් වෙලා බදුල්ලෙන්ම පෙලවහක් කොරන්. හෙහ් හෙහ් හෙහ් ”.. 

ඔහු සිනාවෙන් මුව සරසාගත්තේ තමන්ගේ ජීවිතය ගෙවී අපුරුව සිහිපත් වීමෙන් ලද සතුට්ව්න් යයි මට සිතේ
.
“ඉතින් මම ගමන බිමන ගියේ කොච්චියෙන්ම තමා .. සති දෙක තුනකට සැරයක් සිකුරාදාට මම බදුල්ලට යනවා මෙන්න මේ කෝච්චියෙන්.. ” 

ඔහු කොච්චි පෙට්ටියේ සතර බිත්ති දෙස බලමින් පැවසුවේ කෙදිනකවත් නොවෙනස් වූ ඔහුගේ ජිවන රටාවත් මේ පෙට්ටියත් සමාන කොට මවමිනි.

“දවසක් මම නාවොලපිටියේ ඔය අද බැහැ ගියා වයේම ඉන්නකොට ඩොල්කි සද්දයක් ඇහුන ඇරපු අතක් නෑ අවුරුදු 10ක් ගියත් මට ඒ හඬ අඳින්නකි .. ඒ ගුණේ ගේ ඩොල්කි සද්දේ.. ඔන්න ඔහොමයි මට මිනිහ හම්බුනේ අයෙමත් ”

“ඉතින් මාමේ මනුස්සයට මොකද උනේ කිඋවේ නෑනේ තාම.” මගේ ඉවසීම අහවර වූ තැන මම මැදින් පැන්නෙමි.

“එදා තමා මම මිනිහගෙන් ඇහුවේ මොකද උනේ කියල .. හ්ම්ම්ම් ඒ මිනිහට වෙන්ට තිබ්බ හැමදේම වෙලා මහත්තයෝ.. කොහෙන්ද ආපු ලොරිකාරයෙක් එක්ක උන්ගේ ගෙදර උන්ද පැන ගිහින් තිවුන.. මට හොදට මතකයි උන්ගේ කෑම රහට වගේම උන්ටත් රහවැටුණු දෙතුන් දෙනෙක්ම ලොරි කාන්ඩේ උන්න.. රතිය මහත්තය රතිය .. ඕක තමා විනාසේ මුල.. ” 

   තරහ පිරි මුවක් මවාගත් ජිනපාල මාමා බරකොට පැවසුවේ තමන් ඒ සිදුවීම දැඩිව පිළිකුල් කරන බව හඟවමිනි.

“ගමේ ඉන්ට බැරි හින්ද කඩෙත් වහ දාල කෙල්ලත් අරගෙන ගුණේ ගොහිල්ල තියනවා හාලිඇල්ලේ උන්ගේ කයේ හරි ගෙදරකට.. ටිකකාලයක් වවාන කාල ඉන්නකොට තමා දැනගෙන තියෙන්නේ උගේ කෙල්ලට පිළිකාවක් තියන විත්තිය.. අතේ මිටේ යහමින් නැති නිසා ගෙවල් ඉදන් පවා විකුණලා කෙල්ල ගොඩ දාගන්න උ නොගත්ත උස්සහයක් නෑ.. දැන් කෙල්ල ඉන්නේ බදුල්ල මහා ඉස්පිරිතාලේ.. රස්සාවක් කරලා සල්ලි හොයන්ට පුළුවන් කාලයක් ගුණයට නෑ මහත්තය .. ”

“ඉතින් කොහොමද සින්දුකියන්න පටන්ගෙන තියෙන්නේ මාමේ ”

“දවසක් කෙල්ලගේ බෙහෙතක් ගේන්ට කොලබ එන්ට නගපු වෙලාවක ඌ දැකල තියනවා සින්දු කියල සල්ලි හොයන එකෙක්.. ඉතින් ඒ වෙනකන් නොවිකුණා තිබ්බ ඩොල්කියත් ඇන්න ඌ ගොඩවෙලා තියනවා ඉගාව දවසේ කෝච්චියට.. ගුණේ ගේ සංගීතෙට වසී නොවෙන්ටනම් උට කන් ඇහෙන්නේ නැතිවෙන්ට ඕනේ මහත්තය.. ඌ හොද ගානක් හම්බකරනවා දවසකට.. කෙල්ල බලකියාගන්ට ඒකිගේ බෙහෙත් වලට තමා වියදම් කරන්නේ”

“ඉතින් දැන් ඉන්නේ කොහෙද ?” මට නැගුනු පැනය සාධාරනයි ඔබට සිතෙනු ඇත.

“ඉන්න තැනක් කියල නෑ .. කෙල්ල ඉතින් සදහටම ඉස්පිරිතාලේ තමා.. ඉස්ටේසමේ මහත්තුරු ගුණේට හරි හිතවත් ඉතින් ඔය කොහේ උනත් උට කමක් නෑ මහත්තය..”

        දුම්රියේ ඩක ඩකය හා මුසුවූ ගුණේ මාමාගේ ඩොල්කි නාදය ඈතින් ඇසෙ.. ඔහු අසල දුම්රිය මැදිරියක ගී ගයනවා විය යුතුය. මාමෙන්ම තවත් දහසක් දෙනා අදත් හෙටත් ඔහුගේ ගී අසා වශිවනු නොඅනුමානය. එහෙත් ඔහුගේ ජිවන ගියේ කටෝර විඳින්නට ඔබට ලැබෙතැයි මා නොසිතමි. ඒ රළු පරළු ගීතය මා මෙසේ ලියා තබන්නේ එබැවිනි.

Saturday, October 15, 2016

වැස්ස

     
    මාස දෙක තුනක දාහය නිමමින් අද හැලෙන වරුසාව පොල් අතු වහලය සෝදා හරිමින් පොල් කොළ අගිස්සෙන් බිමට බේරේණු ටිකිරි බලා සිටියේ භාවනාවක නියලේන්නෙකු සේය.

   මහ කන්නයට වහිනවැස්සේ හෝ හඬ සුසර කරමින් විටින් විට නැගෙන සුළඟ ,බිම වැටෙන්නට කෝලයෙන් පොල් අතු අගිස්සේ රැඳී ලතවෙන ජල බිඳු බිමහෙලන්නට කරන තරවටුවක් සේය.බිම වැටෙන ජල බින්දු එකිනෙක ඇමිනෙමින් සැදුනු දිය දහර මිදුලේ අඩු ලුහුඩු ඔස්සේ පැනෙමින් ගොස් , ගුරු පාරත් කඩුල්ලත් අතරින් රිංගා වක් ඇලට වැටෙන්නේ කුඩා දිය ඇල්ලක් තනමිනි. දෙපැයකට පෙර කොටු වැටුණු ගුරු පැහැ සාළුවක් සේ දිස්වූ වියලි වක් ඇල, ඒ ඉරි මකා දෙඉවුරු සෝදා හරිමින්  ගලායමින් තව තවත් තරවේ.

    අඩුවක් නැතිව වැටෙන වැසි බින්දු ගෙනෙන සිසිලස ටිකිරිගේ සිතට මෙන්ම ගතටත් අලස බවක් එක්කළේය. මෙතෙක් වෙලා ඈඳීගෙන හුන් බිත්ති කන්ඩියෙන් මෑත්ව ගෙතුලට ඇදුනු ඔහු ඉලත්තට්ටුව රැගෙන පිල මතට විත් වාඩි වී පුවක් ගෙඩියක් ඒදන්නට වුයේය.

       අට විසි වියැති ටිකිරි තවම තනිකඩයෙකි. දෙතුන් වසරකට උඩදී වියෝවූ මව ටිකිරිට සිටි එකම නෑදෑයා වුවාය. මි වැව ගමේ බොහෝ දෙනා මෙන්ම ටිකිරිද ගොවිතැනෙන් දිවිසරිකරගත් ගොවියෙකි. පියාගෙන් උරුමවූ වී පැල 7-8 තනිකඩ ඔහුගේ බත වසර කිහිපයකට උව සරි කිරීමට තරම් මහත්ය.  

      අඩුවැඩිය අඩුක්කොට බුලත් විට කටේ ඔබාගත් ටිකිරි සරොම කහපොට ගන්නා පිල් පඩිය මත වාඩි ගෙන, මිදුල මතට හෙලු කෙල පීඩ වහා සෝදා හල වැසි දිය, ඒ වක් ඇලට එක්කළේය. ගුරුපාරට ඔබ්බෙන් වූ වෙල් යාය එකම ජල තටාකයකි. යල කන්නයේ වගාවෙන් ඉතිරි වූ ඉපනැල්ල වසා නැගී දිය කඳ ලියදි සතරකොනේ බැඳී උස් නියර පරයමින් නැගී ඇත.

    එදෙස බලා සිටි ටිකිරිගේ මනස මෑත අතීතයට දිවයන්නේ. වැව බොර කිරීමෙන් සති කීපයකට පසු ගන්දියෙන් පිරෙන වැවු තලය සුපැහැදිලි ජල රටා මවන්නේ සුටුවන් සිත ඇද බැඳ තබමිනි. මි වැව පිරිපුන් දියෙන් බැබලෙන දිනෙක සිදු වූ පහුගිය කන්නයේ කරෝලිස් ගේ පැමිණීම අදමෙන් ටිකිරිගේ මතකයේ ඇත. ටිකිරිගේ කුඹුර පිහිටි යායේ අත්තම ගැන පණිවිඩ රැගෙන යන්නා කරෝලිස් බවට කිසිවෙකුගෙන් ලද පත්වීමක් ඔහු සතුව නොවූවත්  රාජකාරියකට වඩා බැතියෙන් ඔහු එය ඉටුකරයි.

“ටිකිරි මලේ .. ඔන්න පයින්ඩේ දුන්නා”

සෑම කන්නයකම ඔහු ගෙට ගොඩවන්නේ මේ නොවෙනස් ප්‍රස්තාවනාව සමගිනි. ඔහු පණිවිඩය නොකීවද ටිකිරි ඔහු ආ කාරණය දනී.

“ආ වරෙන් වරෙන් කරෝලිස් අයිය”

“ඔන්න මලේ අදත් අන්තිමටම අවේ උබලයි ගෙදෙට්ට. ඔන්න ඔය විටක් ගමුකො බන්.”

      කරෝලිස් අත්තමේ පණිවිඩය ගෙනයන රාජකාරිය භාරගත් දින වකවානු ටිකිරිගේ මතකයේ නැත. එහෙත් ඒ සෑම දාකම ඔහු ටිකිරිගේ නිවසට ගොඩවන්නේ අවසන් වශයෙනි. ටිකිරිගේ සංවාද ශීලි භාවයත් දීමෙහි ඇති ගුණයත් මිට හේතුවන්නට ඇති සේය. ඇරත් බුලත් විට කෑමෙහි ටිකිරි මෙන්ම රුසියෙකු වූ කරෝලිස් ටිකිරිගේ ඉලත්තට්ටුවේ රසය හැඳින්නේය.

“හිටින් අයියේ මේ කොළ උදේ කඩපුවා. මම අන්න එන්නම් දළු කොළ ටිකක්.” ටිකිරි හරක් ගාල කෙලවර වූ රට බුලත් වැල පීරා කඩාගත් අලුත් බුලත් කොළ කිහිපයක්ය  ඉලත්තට්ටුවට දමන්නේ.

“ඉතින් උබත් කාහන්කෝ විටක්..”  

කරෝලිස් විටට අඩු වැඩිය සකසමින් ටිකිරිටත් ඉලත්තට්ටුව දක්වයි.

“උණු වතුර ඩිංගක් පැහෙන්න තිබ්බ කහට කෝප්පයක් බොන්ඩ. කරෝලිස් අයිය ඩිංගක් හිටියනම් තේ ඩිංගක් බීලම විටක් කෑහැකි.”

“නෑ ඕනෑන්නෑ. මට රාළ හාමිලයි  ගෙදරින් කහට කෝප්පයක් ලැබුණ. උබ හදන බිහන්කෝ” 

    විට කට තුලට හොවමින් කරෝලිස් පවසන්නේ ඉලත්තට්ටුව පිල තුලට තල්ලු කරමිනි. කිහිප විඩක් පෙළ ගසා හුණු අඩුව සකසා ගන්නා ඔහු බුලතේ රත් පැහැයෙන් සෑහුණු විට කතාව පටන්ගනී.

     කහට කෝප්පයක් හකුරු කෑල්ලක් සමග අතින් ගත ටිකිරි පිලේ වැඩි වන්නේ කතාවටය.

“හමාදාම උබ හදන් කහට බොන්ටද බන් කල්පනාව.. ගෙනෙන්කෝ හොඳ හිරයක්” 

මුලින් මුලින් වදයක් සේ සැලකුවද මවගේ වියෝවෙන් පසු දැනෙන තනිකම ටිකිරිගේ මතයද වෙනස් කොට ඇත.

“එකනම් හැබෑව කරෝලිස් අයියේ.. ඇර මක්කටෙයි බොරු කියන්නේ මුලින් තනියෙන් හිටින්ඩ හිතන් උන්න මම ”

වෙනදා මෙන් කතාව වෙනතකට හරවනු වෙනුවට ටිකිරි කතාවට රුකුල්දෙයි.

“හ්ම්ම්.. බලපන් මේ ගේ පාලුවට යන හැටි.. අපේ රළු අත්වලින් මොක කලත් වැඩක් නෑ බන් මෙඋවට හරියන්නේ ගෑණු අත ම තමා. ඇයි ඉතින් උබ තවත් තෙපර බාන්නේ”. කරෝලිස් ඍජුවම තම මතය ලිහාලයි.

“ඔය කිවුවට ඕව හදිසියට කරන්න පුලුවනෑ බන්.”

“නැද්ද උබට හිතගිය එකියක් එහෙම.” 

කරෝලිස් ඇසෙන් ඉගියක් කොට කෝල ලෙසින් අද පැද අසන්නේ ටිකිරිගේ විලිය නංවමිනි.

“එහෙමට කියල නෑ බන්.. ඇරත් කවුද මට හිර දෙන්ට කැමති..” 

ඇගට පතට නොදනී කියන ටිකිරිගේ සිත සිළිඳු ගේ රුවෙන් පිරියන්නේ මහා වැස්සෙන් වක් ඇල පිරි යන මෙනි.

    ගිය අත්තමට දොඹේ ළඟ කුඹුර වපුරන අතර ඇඹුල රැගෙන පැමිණි සිළිඳු ටිකිරිගේ සිතේ සදහටම පැලපදියම් වූ බව දන්නේ ඔහුම පමණකි. සෙතන්ගේ නැන්දනියකගේ දුව වූ ඇය මොර හේන සිට නෑගම් ආ එකියක බවත් නම සිළිඳු බවත් ඔහු දැනගත්තේ සේතන් විසින් රාළහාමිට කල හැඳිනීමේ පිරිවිතරිනි.

      සිහින් ගොයම්කරලක් බඳු සිරුරත් පන් ගොබයක පැහැ ගත් බඳත් තනිකඩ ටිකිරිගේ සිත ඇදගත්තේය. කඩිසර ගමනකින් සහ සක සුරුවම් ක්‍රියාවෙන් ඔප වැටුණු ඈ ලබන්නට ඇත්නම් යයි ටිකිරි කල්පනා කල අවස්ථා බොහෝ බව දත්තේ ඔහුම පමණකි.

       නමුත් ටිකිරි දත්තේ එපමණකි. ව්‍යංජන බෙදන විට “තව බෙදන්ටද ?” යන්නට වඩාත් “ඇති ” යන්නට වඩාත් ඔවුන් දෙදෙනා අතර හුවමාරුවූ අදහසෙක් නැත්තේය. එහෙත් බොහෝ වර ටිකිරි ඈ සිහිකලාය. පාළු පිල මත වැතිර සිටිද්දී පොල් අතු වහලේ ඇගේ රූ ඇඳුනු වාර අනන්තය.

“හෙහ් .. බොලා වගේ දස්ස, ගෑනියෙක්ට දුකක් නැතුව කන්ට දෙන්න පුළුවන් එවුවොන්ට, ගෑණු නොදෙන්නේ කවුද බෝල. අම්මප මයේ දුවෙක් උන්නනම් උබට කැපෙන, මම ආයේ දෙකක් හිතන්නේ නෑ දෙනවා.. අම්මප ..” 

කරෝලිස් ටිකිරිව පසසන්නේ අතිශෝක්තියෙන් බව සිතුනද සැබවින්ම ටිකිරි යනු සැපවත් සිරුරක් හිමි සිත් ඇදගන්නා තරුනෙකි.

“මම මේ ආවේ අත්තම කියන්ටම නොවෙයි මලේ.. උබට කාරණයක් කියන්ටත් එක්කම තමා.. මම දන්නා හොද දරිවියෙක් ඉන්නවා.. උබ දන්න කියන තැනක් .. ඔන්න උබ කැමති නම් මම වැඩේ කතා කොල්ල දෙන්නම්” 

කරෝලිස් උවමනාවෙන් ටිකිරි දෙස බලා ඇසුවේ ඔහුගේ මුහුණේ ඉරියවු දැඩි නිරීක්ෂණයට හසු කරමිනි.

“අනේ මන්ද කරෝලිස් අයියේ .. උබට හොද හිතෙනවනම් ඕනේ දෙයක්.. ”
    සිලින්දුගේ මුහුණ යලිත් ටිකිරිගේ මුවේ ඇඳෙන්නේ සුසුමක් අනුව යමිනි. කොතරම් පෙරුම් පිරුවද නොලැබෙන යයි සිතෙන දෙයක් පසුපස යන්නට තරම් ටිකිරිගේ හිත නොදෙන නිසා ආයාසයෙන් හෝ සිලින්දුව අමතක කරන්නට ටිකිරි සිත සකස්කොට ගත්තේ සිතට වඩා අවශ්‍ය තාවයට ඉඩ දෙමිනි.

“කෙල්ල හොඳ කෙල්ල.. උබ ඒකිව දැකල තියනවා බන්.. ඇර මක්කෙයි මන් උබට හංගන්නේ.. කෙල්ලගෙ පියා තමා උබව දැකල මට උබ ගැන කතා කරන්න කිවුවේ. උබට ඒකිව හමුවෙලා තියනවයි කිඋව.. ” 

    බුලත් කෙල පහරක් මිදුලට හෙලූ කරුලිස් රස්බුරුල් කර කතාව යලි අරඹයි. ටිකිරි උවමනාවෙන් සවන්දෙනු ඔහු දුටු නිසාදෝ කතාවේ අගය වඩන්නට ඔහු කතාව නවතා මදක් වෙලේවිවේ.

“මම දන්නා කෙනා කවුද බන් අයිය.. ඇරත් හම්බෙලා තියනවයි කියන්නේ” .. ටිකිරිගේ සිත එහෙමෙහෙ දිවයන්නේ සිත රැන්දියක හා මුණගැසුනු ඉසිඹුවක් ඔහුගේ මතක ඇති කාලයක නොවූ බැවිනි.

“සමහර විට උබට අමතක ඇති බන්.. ගිය කන්නේ වෙලේ ඇඹුල අරන් ආව සෙතන්ගේ නැන්දගේ කෙල්ල සිළිඳු .. එකී බොහොම හැඩ කාර කෙල්ල වැඩටත් දක්...”

කරෝලිස් බොහෝදෙ කියාගෙන යයි. ටිකිරිට ඇසිය යුතු යමක් නැත. කැටිකොට ගත් සරම ලිහාලු ටිකිරි ඉලත්තට්ටුව තමා දෙසට අදිමින්

“මම කැමති”

යයි කිවේ ඈත වෙල් යය දෙස බලාගෙන සැහැල්ලු සිතිනි.

“මහා කන්නේ ඇත්තමට ආවම මම වචනේ දෙන්නම් හෙනං”


වරුසාව තාම නිමක් නැත. වැසි දියෙන් මි වැව පිරි ගිය කල මහා කන්නයට අත්තම ඇරඹේ. ටිකිරිගේ සිත මි වැව මෙන් පිරුණු සොම්නසින් නිසලවෙයි.     

Tuesday, September 20, 2016

බෝඩිම

හිනාවක් කතාවක් රුවක් නැති කුටිය තුල
සෙයිලමේ මන් ගෙවන  විඩාබර සවස් කල
ඔබ දනී නොදනනීද ගෙවෙන කල, කටු කොහොල
සිපිරි ගෙය මෙය මගේ කුමද මම වරද කල

රළු අතින් හැදෙන බත ඇල් රසට ගිලෙන කල
රෝස් ගඳින් මාලු පිනි නාස් පුඩු දැවෙන කල
මුදල් මිස හදක් නැති නොමිනිසුන් විඳින කල
සතර පෙර නිම් මැවේ පාලු මේ කුටිය තුල

කුජනය පසෙක ලා ගර්ජනය කන නැගෙන
හුස්ම පොද පවා විස සෙයිලමේ මම හිඳින
එකුන් පරයා නැගී තරගයට යුද වැදෙන
යුද්ධයේ ජයක් කීම පරාජය මිස ලැබෙන

සතර කොන පාළු ගෙයි තනිකමෙන් දැවී දැවී
ගෙවෙන කල අද නිමෙයි හෙට නිමෙයි ලත වේවි
කෙළවරක් නොපෙනි කල සිත දැවෙයි දැඩි වේවි
බලකරයි අනකරයි නිමන්නට දුක් දිවි