Tuesday, September 20, 2016

බෝඩිම

හිනාවක් කතාවක් රුවක් නැති කුටිය තුල
සෙයිලමේ මන් ගෙවන  විඩාබර සවස් කල
ඔබ දනී නොදනනීද ගෙවෙන කල, කටු කොහොල
සිපිරි ගෙය මෙය මගේ කුමද මම වරද කල

රළු අතින් හැදෙන බත ඇල් රසට ගිලෙන කල
රෝස් ගඳින් මාලු පිනි නාස් පුඩු දැවෙන කල
මුදල් මිස හදක් නැති නොමිනිසුන් විඳින කල
සතර පෙර නිම් මැවේ පාලු මේ කුටිය තුල

කුජනය පසෙක ලා ගර්ජනය කන නැගෙන
හුස්ම පොද පවා විස සෙයිලමේ මම හිඳින
එකුන් පරයා නැගී තරගයට යුද වැදෙන
යුද්ධයේ ජයක් කීම පරාජය මිස ලැබෙන

සතර කොන පාළු ගෙයි තනිකමෙන් දැවී දැවී
ගෙවෙන කල අද නිමෙයි හෙට නිමෙයි ලත වේවි
කෙළවරක් නොපෙනි කල සිත දැවෙයි දැඩි වේවි
බලකරයි අනකරයි නිමන්නට දුක් දිවි

Monday, September 19, 2016

අනෝරා ආදරය

කළා වැව ඉරි රටා වත හැඳි
තේමා වැටෙනා අනෝරා වැසි
ඔබත් මාවත් කොනක තනිකර
මමත් ඒ කොන අතර මන් කල.

වැසිත් වැහිබිඳු සිසිල් දිය පිරි
සිතත් ගත උණුසුම් ව තිබී හැටි
ඔබේ සුළැඟිලි අකුණු පහරින්
මගේ බඹසර සසල වූ හැටි.

තවත් මතකයේ රැඳී ලෙලදෙයි
අනෝරා වැසි සිසිල දැනී කල..............

නෙතින් නෙත් සිප හැගුම් මත්කර
මගේ පෙම්සිත අවදිකල සැටි.
සුසුම් සුවඳින් කෝල වදනින්
සිතේ පෙම් මල් උයන් මැවූ සැටි

තවත් මතකයේ රැඳී ලෙලදෙයි
අනෝරා වැසි සිසිල දැනී කල..............

Thursday, September 8, 2016

බර කොකු ....

"අද නම් ඔය ඩොක්ට හම්බෙන්න යන්නම ඕනේ...."

බිරිඳගේ හඬ ස්ථාවරය. ඈ පරල වන අවස්ථා විරල වන නිසාවෙන්ම ඇගේ මේ ආයාචනාත්මක අනකිරිම ඉවත ලා ගත නොහැකි මොහොතකය මා සිටියේ. 

පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවන මා තවමත් 28 වන වියේ පසුවුවද, දවසේ වැඩිමනක් පුටුවේ, එකම ඉරියවුවෙන් කාලය ගතකරන නිසාවෙන්දෝ නගරබද සමාජයේ පතල රෝග රැසක ගොදුරු ඉසවුවට නුදුරින් සිටිමි. 

දිනෙන් දින නොපසුබස්නා ලෙස ඉදිරියට නෙරා එන උදරයත්, එහා සමව සිදුවන බරෙහි උද්ගමනයත් මගේ සෞඛ්‍යයේ පසු බස්නා බවට පෙරමන් ලකුණු විය.

රැකියාව විසින් වෙන් කරන ලදුව සතියකට දෙදවසක් වූ සති අන්තයේ පමණක් හමුවන මගේ බිරිඳට, එදිනෙදා කන්නාඩියෙන් මුහුණ බලන මට වඩා මේ වෙනස දැනුනා විය යුතුය. දැනට සති කිහිපයක සිට වෛද්‍ය වරයෙකු මුණගැසී රුධිර පීඩනය පරික්ෂ කරවා ගන්නට  ඇවිටිලි කරන්නේ මේ නිසා වන්නට ඇත. පෙර අවස්ථා කිහිපයේදීම කුමක්හෝ කියා එය මගහැරීම පිළිබඳව හේතුව කුමක්දැයි මමම නොදනිමි. යමෙක් එයට අලසකම යයි කියතොත් මම උරණ නොවෙමි.

හැකිතරම් වෙලාව ගෙන, මා ඇඟ පත සෝදාගෙන පැමිණෙන විටත් ඈ සුදානම් වී පෙරගමන් කොටය. සැහැල්ලු ඇඳුමකින් සැරසුණු මා කාරය ගරාජයෙන් පිටතට ගනිද්දී ඈ ගේට්ටුව විවර කර මා පිටතට කල එය වසා රථයට ගොඩවුවාය.

"කාගෙන්ද බෙහෙත්ගන්නේ".. 

අසල ටවුමේ බෙහෙත් සාප්පු කිහිපයක්ම තිබෙන නිසාවෙන් මම ඇගෙන් විමසුවේ මට වඩා මා ගැන උවමනාවක් දැක්වූ ඈ, සතුටු තැනකට යායුතු බැවිනි.

"වන්ෂොට් ලගට යමු"

මා බොහෝ ප්‍රදේශවල දැක ඇති වන්ෂොට් වර්ගයේ දොස්තර මහතෙක් මෙහිද බෙහෙත් සාප්පුවක් පවත්වාගෙන යන්නේ නගරයේ කෙළවරකට වන්නට හොදින් ඉඩ කඩ ඇති ස්ථානයකය.වෙනත් ස්ථාන වලින් දෙතුන් වරක් ඖෂධ ලබා ගතයුතු අසනීප එක බෙහෙත්වේලෙන් සනීප කිරීම වන්ෂොට් වීමට පවතින සුදුසුකම වේ.ලෙඩ ඇසීමට වඩා තමන්ගේ වරුනාවෙන් අනුන් පිනවීම. හෙම්බිරිස්සවත් පිලිකාවත් නොවෙනස්ව විස්තර කිරීම සහ සහනය පතා යන රෝගීන් බිය වැද්දීම, මිට අමතර සුදුසුකම් ලෙස මා සලකමි. 

මා කෙසේ වෙතත් ජනයාගේ නොමද කැමැත්ත සහ ගෞරවය සහ මුදල් නිබඳ ලබන්නට සමත් වන්නෝ මොවුහු වෙති. 
වන් ෂොට් නැතොත් ඔහු එන දවසක් වන තෙක් අසනීපයෙන් බලා සිටිනු මිස, දරාගනු නොහැකිම අසනීපයක් නොවෙතොත්, වෙනත් වෛද්‍ය වරයෙකු වෙත යාමට බොහෝ දෙනා අකමැතිය. 

"එතන දැන් සෙනග ඇති. අනික පෙෂර් බලන්න පෝලිමේ ඉන්න ඕනෙද ? වෙන තැනක් නැද්ද ?" 

අකමැත්ත සගවා මම ඇගෙන් ඇසීමි.

"එහෙනම් අර පාරට හැරෙන තැන ලේඩි ඩොක්ටර් ?"

වරක් දෙවරක් කාරය නවතා ඈ බෙහෙත් සාප්පුවට යනු මා දැක ඇත්තෙමි.. නමුත්  ඇගෙන් ප්‍රතිකාරයක් ගැනීමට කිසිදා ඈ හමු නොවුයේ වෙනකකට වඩා ඖෂධ ලබා ගැනීමට තරම් අසනීපයක් නොතිබූ නිසාවෙනි.
කෙසේවෙතත් මා ඈ වෙත යාම නිහැඩියාවකින් අනුමත කලෙමි.

ඉඩ කඩ ඇති තැනක පාරේ වම්පසට වන්නට වාහනය ගාල්කළ අපි බෙහෙත් සාප්පුවට ඇවිද ගියෙමු. අප හැර කිසිවෙකු සාප්පුවේ නොමැත.. අඩවල් දොර අතරින් වැනුනු අතකින් අපි ඇතුලට කැඳවුම් ලදිමු. ඈ වෛද්‍ය තුමියයි. 

අවශ්‍ය කටයුතු සිදුකල ඈ මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කෙලෙන් පෙරැත්ත කිරීමට අපට සිදුවිය.

"හරි හොද ඩොක්ට නේද ?" රථයට ගොඩ වෙමින් බිරිඳ හඬ අවදි කලාය.

"හ්ම්ම්.. දැන් කොහෙද යන්නේ.. ගෙදරද ?" 
"ආපු එකේ එළවලු ටිකක් අරන්ම යමු" ඈ ආරක්‍ෂිත පටිය සකසමින් පැවසුවාය.

හදිසියේ වාහන දොරට දැමු තට්ටුවකි. පිටතින් සිටි ඈ යමක් කියනබව ඇගේ අංග චලනයෙන් මා දත් නමුත් වැසුණු වීදුරුව හරහා තුලට ගලා ඈ සියුම් ශබ්දය තේරුම් ගත නොහැකි නිසාවෙන් මම ජනේලය විවර කලෙමි.

60 වියට ආසන්න චිත්තයකින් සහ හැට්ටයකින් සැරසුණු ඈ ප්‍රසන්න ගැහැණියකි. 

"මහත්තය බර කොකු ගන්නවද ? කොලස්ටෝරෝල්, දියවැඩියාව, ඔය ආහාර අජිරණ වලට බොහොම හොදයි. නෝනා මේ බලන්න මෝරල නෑ පොඩ්ඩක්වත්.."

කැලෑ ගමක හැදුනු වැදුණු මා නොඇසූ බරකොකු මගේ බිරිඳ කෙසේවත් නොදැන සිටින්නට ඇත.

"අනේ ඇන්ටි අපි දන්නේ නෑනේ ඕව උයන්න. කියද එකක් ?"

මම ඇගෙන් විමසුවෙමි.

"කොහිල වගේ උයන්න ඕනේ මහත්තය. අනේ මම මේ පොලට ගෙනිහින් විකුණගන්න බැරිඋන ඩිංග තමා තියෙන්නේ  මේ දෙකම අරන් 70ක් දෙන්ට නෝනා"

බිරිඳ රුපියල් සියයක් මා ඇත තැබීය.. මම එය ඈ ඇත තබා එක් මිටියක් පමණක් අතට ගතිමි.

"ඉතිරි සල්ලි ගන්න එපා.." බිරිඳ මා වෙත කෙඳිරිය.

"නෑ නෑ ඉතිරි ඕනේ නෑ ඕක ගන්න". ඇත වූ සිලි මල්ලක් අවුස්සමින් 20 කොළ තොරණ ඈ ගේ තැත මම වලකාලීමි.

"අනේ බොහොම පින් සිද්ද වෙන්ට ඕනේ මහත්තය. අද ගෙනිච්ච ඒවා හුගක් ඉතුරු උනා. නෝනා මහත්තල මේ ලග නෙවේ නේද ?"

ගමට අලුත් වූ මා මෙන්ම අවුරුදු 7-8 ක් ගමෙන් පිට සිටි මගේ බිරිඳද ගමට අමතකව ගොස් ඇත. 

"නෑ අපිමේ ළඟ .."

"ළඟ කොහෙද ?" ඈ දැඩි කුතුහලයෙන් පිරිවිසයි. මා ස්ථානය කියන්නට සැරසුණා පමණි. කලවයේ නැගුනු සිහින් වේදනාවකින් මා බිරිඳ දෙස ඇස කොනින් බැලීමි. ඈ මා කොනිත්තා ඇත. මේ මා නොකිය යුත්තකි.

"මෙතනින් වංගු දෙක තුනක් එහා.. අපි ගිහින් එන්නම්" 

ඈ තවත් යමක් ඇසීමට පෙර මම රථය පන ගැන්විමි. "මේ ඉතුරු උන ඩිංග" ලෙස ඈ කීවද, සෑහෙන පමණ බර පලා මල්ලක් ඈ හිසමත තබා ගනු මා පැති කන්නාඩියෙන් දිටිමි.

"ඔයා දන්නවද ඒ කවුද කියල ? " රථය පාරට ගත වහාම ඈ මගෙන් විමසිය.

"ඒ අපේ ගයන්තගේ අම්ම.. වෙලාවට එයට මාව අදුන ගන්න බැහැ.. එකයි මම ඔයාට කෙනිත්තුවේ.. හරි නැනේ අදුන ගත්තනම් එයා අවුල් වෙයි.."

"ගයන්තගේ අම්ම ... "

බිරිඳගේ මිතුරෙකු වූ ගයන්ත මා හඳුනා ගත්තේ විශ්ව විද්‍යාලයේ උගන්නා සමයේ අවශ්‍ය තාවයකට පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පිටයට ගිය මොහොතකය. ඉගෙනීමෙහි දක්ෂයෙකු වූ ගයන්ත මා හමුවන විට පළමු වසර වෛද්‍ය සිසුවෙක් බව මා මතකයේ ඇත.

"ඉතින් ගයන්තගේ අම්ම ඇයි මෙහෙම..."

"ලගදි අපේ තාත්තට ගයන්ත හම්බෙලා.. තාම ජොබ් හම්බෙලා නැතිලු.. මේ අවුරුද්දේ මුලලු අවුට් වුනේ.. තවත් අවුරුද්දක් යයිලු ජොබ් හම්බෙන්න.. ගයන්තගේ නංගි තාම ඉගෙන ගන්නවා.. ඔහොම තමා ඉතින් අම්ම ඒගොල්ලන්ට උගන්නන්නේ"

"අපි උඩ ඇරපු බැලුන් දෙකෙන් එකක් තමා මේ කඩා වැටිලා තියෙන්නේ.. ඒවා ඉතින් එහෙම තමයි මේවා කැඩෙනවා බිඳෙනවා.. අපි අයෙත් මේක උඩ ඇරලා ලංකාවේම තරුණ තරුණියන්ට නොමිලේ වයි ෆයි ලබා දීමේ යහපාලන පොරොන්දුව ඉටු කරනවා.. ඔය ගිය ආණ්ඩුව මොකද කලේ.. උදගොෂණය කල තරුණයින්ට වතුර ගැහුවා .."

මම ගුවන්විදුලිය නවතා දැමීමි..











Monday, September 5, 2016

උට පිස්සු ...

ටින් බෙලෙක් දෙක තුනක් එකට බැඳ         කිටිකිටියේ
ගල් කැටක් ගෙන තලන ඔහු වරෙක මා        දිටියේ 
පාවහන් අතදමා හඬ තලා හරි                     හරියේ 
නගර මැද එහෙ මෙහේ ඔහු දුවයි                 කලබලයේ 

අලුවන්ව හැඩ ගැසුණු කෙහෙ වැටිය               සුරමින 
විටෙක ඔහු හඬනවා මහා පොළොවේ             වැතිරගෙන
දුක් රසය විදි දනා දෙන කෑම උරය                   ගෙන
මල් සිනා නගනවා කෝල බැලුමන්                  දෙමින 


සඳ නැගී එන විටදී රාත්‍රිය                             බබලමින
ඔහු දනී සුව තැනක් පාලමක් යට                     තිබෙන
නිදි නොඑන මන කියන කතන්දර පොත         රැගෙන
ඔහු ඇදෙයි පාලමට ගෝනි මලු පොදිය             ගෙන  

පාලමේ බිතු අතර මනෝ නිවහන                    තැනේ
ඇග යනෙන කුහුඹු රැල ඔහුට කිතියක්             ගෙනේ
කුණු ඇලේ ජල දහර නගන සිලි                      සිලියෙනේ
බලු බලල් කැල අතර ඔහුගේ රැය ගත               උනේ

නිදි අහිමි දෙඇස මත ලහිරු රැස                   නගමිනේ 
කදමල්ල රැගෙන ඔහු යලිත් මෙහි එනු          පෙනේ
බඩගින්න පිපාසය නොදැනුනත්                   එලෙසිනේ
දුක දන්න හදවතක් ඔහු සොයනු මට            දැනේ

බත්කටක් දිය බිඳක් මට දෙන්න                   කියමිනේ
හිත කියන මුත් ඔහුගේ වචන නෑ                   පිට උනේ
කටින් එන වදන් ගෙන කඩේකට                  ගොඩ උනේ 
ඔය පිස්සා එලවපිය හඩින් ඔහු                     ගැස්සුනේ 




  

Tuesday, August 2, 2016

මතකය

හතට උදෑසන ඉමිහිරි සුව අවුවේ
කටට දෙකට පාන් පෙත්ත ගිල අමුවේ
දුන් රොටු අපුල කළුබෝවිල පා මළුවේ
වැඩට යන්ට මා පා ඉක්මන් කෙරුවේ

සෝදෝ සුදට සුදු ඇඳුමක් වත හැඳින
පාසල් යන්ට හනිකට පාරට දුවන
කොලු පැටියෙක් පා පැකිලී ඇඟ වැදුන
මතකය ගෙන ගියා මා ආපසු රැගෙන



අම්මා කවන බත් දෙකටට දෙස් දෙමින
ඇඳගෙන පියා මැද දුන් කලිසම සොඳින
පොත් පිරි මල්ල දෙවුරේ රඳවා බැතින
පාසල් ගියා මොහොතින් මතකේ ඇඳින

නැගී බස්රියට හනි හනිකේ රින්ගාන
ඩ්‍රයිවර් තැනගේ ලග බටයේ ඇන බාන
අදුනන කුරුට්ටන් වට කොට කොලු රෑන
කියූ කෙරු දේට තාමත් සිනහව නැගෙන




පාඩම් අකුරු කරවා උදයේ වරුව
දහවල විවේකය කවුරුත් කෙලි කෙරුව
සෙල්ලම් පිටිය සිවු කොන දුහු විලි නැගුව
පෙර දා මතක් වී සුසුමකි බිම හෙළුව

සුදු ඇඳුමේ සුද කහ වී උඩට ඇදී
ආපසු යන්ට බසයට යලි නැගිවිටදී
දුටු ඒ මුවේ පිරි සිනහව සිත රැවුදී
තාමත් හදේ කෙලවර කිතියක් උපදී 
(සඳරු)

Sunday, January 17, 2016

එෆ් එම් වෙළෙන්දා

"කදුරුවෙල කදුරුවෙල සාමාන්‍ය ගාස්තු .. හයයි කාල අදිනවා .. කොහෙටද මහත්තය සිට් තියනවා නගින්න.."

දීර්ග සති අන්ත නිවාඩුවට නිවසට යාමට කොටුව ප්‍රධාන බස් නැවතුමේ පොළොන්නරු පර්යන්තයට මා පැමිණියෙමි. කොන්දොස්තර තැනගේ ආරාධනය ඇතත් නැතත් ම මේ බස්රථයේ යාමට ඉටාගෙන අවසන්ය .. වහා රථයට ගොඩ උවද එතරම් හදිසියක් අනවශ්‍ය බව මට හැඟී ගියේ රථයේ සෙනග තවමත් අතේ ඇගිලි ඉක්මවා නොගිය බව අස ගැටීමෙනි.

සුදුසු අසුනක් සොයා ජනේලයක් අසල කෙළවරක මම අසුන් ගතිමි ..

හයයි කාල රථයේ පිටත් වීමේ වෙලාව නම් ඒ සඳහා තවත් මිනිත්තු 30ක කාලයක් ඉතිරිව ඇත.

"ඔන්න මහත්තයෝ කොලබට ආපු අලුත්ම භාණ්ඩේ .." යයි මූල පුර්ණය දෙමින් රථයට පිවිසි පදික වෙළෙන්දෙකු සැමගේ නෙත් ඔහුවෙත ගැනීමට සමත් උවද ඒ නෙත් ප්‍රමාණය ඔහුගේ සිත සතුටු කරන්නට අසමත් වූ ලෙසකි.. අලංකාරව සකස්කළ වචන පෙළ ලත් තැනම ගිලගත් ඔහු රථයෙන් බැස ගියේය.

තවත් විනාඩි 10ක් ගතවන්නට මත්තෙන් සැලකියයුතු සෙනගක් අසුන්ගතව බස්රථය පිටත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව පෙනින. වරක් දෙවරක් බසයේ ඉදිරි දොරටුවෙන් නැගුනු කොන්දොස්තර තැන

"මෙතන කෞරුහරි ඉන්නවද ? ඔය බග් එක කාගේද ? තමන්ගේ බග් අතට ගන්න ? ඔය අක්ක කොහෙටද ? දඹුල්ලෙන් මෙහා ඉදගන්න එපා "

වැනි, ප්‍රශ්නත්, විටෙක තර්ජනන්ගුලිත් ඔසවමින් පසු පස දොරටුවෙන් බැසගොස් "තව සිට් 4ක් තියනවා".. ලෙස ඉතිරිව පවතින අසුන් ගණන පිටත සිටින මගීන්ට දැන්වීය.

මේ අතර රථයට නැගුනු රියදුරු රථය පනගන්වා එන්ජිම ආගිරි නංවන්නට විය. තම ගමන් මලු අසුන් වල තබා පිටතට වී සිටි සමහරු බස්රථය පිටත්වෙතයි සිතා වහ වහා රථය තුලට නගගත්තද, බසය පිටත් වීමට තව කල් ඇතිබව අත්දැකීම් ඇත්තෝ දැනසිටි නිසාවෙන්දෝ තවමත් කිහිපදෙනෙකු පිටත එහෙත් දොරටුවට ආසන්නව සිටියහ..

රථය පනගන්වුමත් සමගම රථයේ ගුවන්විදුලිය පණ නැගියේ නව තාලයේ ගීතයක හඬින් බස් රථය පුරවාලමිනි.

බස්රථයේ අගිරි ගෑමෙන් පන නැගුනු එකම දෙය ගුවන් විදුලියම පමණක් නොවුනු බව මට හැඟුනේ වරක් අසාර්ථක වූ පදික වෙළෙන්දා නැවතත් රථයට නැගෙනු දැකීමෙනි. එහෙත් මෙවර ඔහුගේ පිවිසීම පෙර මෙන් උද්යෝගිමත් නොවිය.

රතුපාට කුඩයක පිරවූ,අමුණු සහ එල්ලූ නොයෙක් විද භාන්ඩ ඔහුසතුව විය. ඒ සෑම එකකටම අවේනික උපත සහ පාවිච්චිය පදනම් වූ විස්තරයක් ඔහු සතුය.

"මෙන්න මහත්තයෝ ගේනවා නියම භාණ්ඩයක් .. " ඒ ඔහුගේ මෙවර ඇරඹුමයි.
"මේකේ තියනවා ඕනෙම ප්ලැට් නියනක් .. ඕනෙම මල් නියනක්.. ඇනවර්ග 23ක් .. ඇණ.. වර්ග විසිතුනක් පටස් ගාල ගලවගන්න පුළුවන්.. ඔය ගේදොර පොඩි වැඩවලට හදිසියට බයිසිකලේ බ්රේක් හදාගන්න ගෙදර රේඩියෝ එක ගලවගන්න මෙන්න නියම භාණ්ඩේ.. රුපියල් සීයයි ... ඔරිජිනල් ජපන් භාණ්ඩේ .. අතටගන්න අල්ලලා බැලුවට ගන්න කියල බල කරන්නේ නෑ.." ඒ ඔහුගේ පලවෙනි භාණ්ඩ වැනුමයි..

"එතකොට මේ මොකක්ද .. ඔබේ දුවට පුතාට .. අක්කගේ අයියගේ පුංචි දරුවට .. මේ විසම සමාජේ ජිවත් වෙන්න ඉගෙනීම අත්‍යවස්ය දෙයක්.. අද ඔපිසියකට ගියත් කොලබ හොද කඩේකට ගොඩ උනත් පළවෙනියට අහනදේ තමා .. වට් දු යු වෝන්ට්.. එතැන් පටන් පටන්ගෙන තමන්ගේ ජිවිතේ ගෙවාගන්න අවශ්‍යම කරන ඉංග්‍රීසි දැනුම ඇතුලත් පොතක් තමා මේ තියෙන්නේ.. කෙනෙක්ගෙන් දේවල් අහන්නේ කොහොමද ? කෙනෙක්ට පාරක් විස්තර කරන්නේ කොහොමද ? තමන්ව හදුන්වල දෙන්නේ කොහොමද ? මෙන්න මේ ආකාර වැදගත් අවශ්‍ය තා 25ක් එක්ක එදිනෙදා වැදගත්වෙන වචන 5000ක් වචන... 5000ක් මේ පොතේ අඩංගු වෙනවා .. කඩේ සාප්පුවේ ගන්න ගියොත් මේ පොතේ මිල මෙන්න රුපියල් 250ක් .. හැබැයි මන් දෙන්නේ නිකන් වගේ රුපියක් 100ක් .. බුලත් විට 5ක් සිගරට් දෙකක් ගන්න මිලට ඔබේ දරුවට දැනුම අරන් යන්න මෙන්න අවස්තාව..."

භාණ්ඩ විස්තරය අතර තුර කිහිප දෙනෙකුම ඔහුගේ භාණ්ඩ අතපතගා බලනු මා දුටුවෙමි.. පොත් කිහිපයකුත් තවත් භාණ්ඩ කීපයකුත් අලෙවි වූ සෙයකි.. බස්රථය හඬ නංවමින් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වුයේ. ඔහු වහා රථයෙන් බස අතුරුදන් වුයේ මගීන්ගේ විඩාව සහ අසහනය මෙන්ම සමව යමිනි.

රථය මාලිගාවත්ත දෙසට සෙමෙන් ඇදෙන්නට වත්ම ඩ්‍රයිවර් තැන රේඩියෝවේ ශබ්දය මදකින් වැඩිකළේ රථයේ හඬින් එය යටපත්ව ගිය මොහොතකය.

සබන් වර්ගයක් සහ බිස්කර් වර්ගයක් පිලිබඳ දැන්වීමකින් අනතුරුව ගීතයක් ප්‍රචාරය විය.. ඒ රේඩියෝවේ සවස ගීතමය වැඩසටහනක ආරම්භයයි .. බටහිර පන්නයට හුරු තරමක ගැබුරු එහෙත් අස්වාභාවික හඬකින් යුතු පැසුණු බවට වඩා නොමේරු ව්‍යක්ත බවට වඩා බජාර් පන්නයට අසන්න වූ නිවේදකයාගේ කටහඬ ම සිත් නොගත්තේය ..

"හලෝ හායි හායි.. ඉතින් කොහොමද ඔන්න මම අදත් අවා වෙනද වගේම  ඔයාලගේ කැමතිම සින්දු අරගෙන.." මේ ඔහු වැඩසටහන ආරම්භ කල මොහොතයි

"අමතක කරන්න එපා අද ෆන් බදාදා .. ඉතින් එන්න සෙට් වෙන්න ෆන් එක ගන්න මාත් එක්ක.. ඔයාල දන්නවා හැමදාම වගේ අපේ ලගින් ඉන්න යාලුවෝ .. අපේ අනුග්‍රාහක භවතුන්.. ඒ ය ගැන මතක් කරන්න කලින් මෙන්න සින්දුවක්.."

ඔහුගේ කටහඬ අප්‍රිය තාවයේ ඉනිපෙත්තෙහි තැබෙන්නට කලින් වේලාව බලා ඔහු සිංදුවකින් දමා ගැසුවා සේයා.. කෙසේ නමුත් සින්දුව මා සිත්ගත්තේය. සින්දුව අතර මැද්දේ කිහිප විටක් ප්‍රචාරය වූ නාලිකාවේ නම නිසා සිදුවූ රස දුෂණය පිළිබඳව සිත් කිළුටු කරගනිමින් මම සින්දුවට සවන් දී නොදී ජනේලයෙන් පෙනෙන අවට පරිසරයට සිත් යොමුකලෙමි..

"ඉතින් ඒ ඔයාල හැමදාම ආදරේ කරන ජනප්‍රිය ගායක ලසන්ත අබේනායක" ඒ ගීතයේ අවසානයි..

"හොදයි .. ඔයත් එලේවල් කරගන්න බැරිඋන නිසා රස්සාවක් හොයාගන්න බැරුව අප්සට් එකේ ඉන්න කෙනෙක් නම් දැන් එහෙම ඉන්න ඕනේ නැ කියන සුබ පණිවිඩේ දෙන්නයි මම මේ හදන්නේ .. මහගෙදර ටෙක්නිසියන් එකෙන් බරයන්ත්‍ර පටමාලාවක් හදාරලා හොද පඩියක් එක්ක ලංකාවේ හරි පිටරටක හරි හොද ජොබ් එකක් හොයාගන්න දැන් ඔයාටත් අවස්තාව තියනවා. කිසිම අද්යාපන සුදුසුකමක් අවශ්‍ය නෑ .. කරන්න තියෙන්නේ මෙච්චරයි  ගන්න ෆෝන් එක ටක් ගාල එස් එම් එස්  කරන්න මෙන්න මේ නම්බර් එක නොට් සෙවන් ත්‍රී ෆොර් වන ඩබල් ටු සිරෝ .. ටක්ගාල එහෙන් කෙනෙක් ඔයාට කතාකරාවි පැය භාගයක් ඇතුලත.. ලංකාවේ නම් රුපියල් 40000 සිට 60000 දක්වා වටුපකටත් පිටරටක නම් රුපියල් ලක්සෙට වැඩි පඩියකුත් ලබාගන්න ඔයාටත් පුළුවන් කියල ගරන්ටියක් දෙනවා .. ඉතින් මොකටද තවත් ප්‍රමාද ? "

ඔහු විස්තරය දිගටම කියවාගෙන යයි ..

"ම්ම්.. ඔයාල දන්නවද මගේ කොන්ඩේ කාලෙකට කලින් වැටෙන්න ගත්ත .. කොල්ලෝ කලේ ඉස්ටයිල් කරන වයස වෙනකොට එහෙම දෙයක් උනාම කොහොමට තියෙයිද ? හිතාගන්න පුලුවන්ද ? හැබැයි මගේ පිනට මට හම්බුනා කළු කේෂා හෙයාර් මොටිවෙටර් එක .. එකට පින්සිද්ද වෙන්න මට දැන් ඕනේ ඉස්ටයිල් එකකට කොන්දේ කපාගන්න පුළුවන් .. ඉතින් මට විතරක් නෙමේ මට වගේම කොන්දේ ගැලවෙන ඔයාටත් ලගම තියන කඩේට ගිහින් කළු කේෂා හෙයා මොටිවෙටර් එක ගන්න පුළුවන්... ඔයාලගේ ලේසියට පහසුවට දැන් පොඩි පැකට් ......."

විස්තරය හදිසියේ ඇනහිටියේ කොන්දොස්තර මහතාගේ මැදිහත් වීමෙනි .. මට මෙන්ම ඔහුටත් එය කන්දොස් කිරියාවක් වන්නට ඇත .. රේඩියෝව නිවා දැමු ඔහු හකුලා තිබු රුපවාහිනිය දිගහැර චිත්‍රපටියක් ක්‍රියාත්මක කරවිය. මදක් ඒ දෙස බල සිටිමා නැවත අවදි වන විට සිටියේ බැලුන් මහර හන්දියට ආසන්නයේ බව අසල තිබු කඩයක පුවරුව අදාරයෙන් දැනගතිමි..








Monday, December 21, 2015

අම්මා සහ අම්මලා

"අම්මට මොනවද අරන් යන්නේ ?"..

නුගේගොඩ පසුවත්ම කාන්තිගේ සුපුරුදු පැනය ඇ මට යොමු කරයි. පසුපස අසුනේ දුවත් පුතාත් සුව නින්දේ පසුවන බව පසු කන්නාඩියෙන් පෙනේ. පාර පුරා ඉබාගාතේ දිවයන ත්‍රිරෝද රථ වලින් බේරී වාහන පෙළ අතර රථය රඳවා ගැනීමට මා දරන වෑයම තේරුම් ගිය නිසාවෙන්දෝ කාන්ති දීර්ග කතාවකට මුලපුරන්නේ නැති තරම්මය.

"ඉන්න මෙටික පහුවෙලා නවත්තමු."

වාහනය නැවතිය හැකි ඉඩකඩක් සොයාගත් විගස නවත්වන අටින් වහනය වම්පසට ගත් මා සෙමින් ඉදිරියට පදවිමි. කොහුවල මංසන්දිය අසල ඉඩ කඩක වහනය නවතාගන්නට හැකිවීම ගැන මම මහත් සතුටට පත්වීමි.

"යමු මෙතන ඉස්සරහ බේකරියක් තියනවා .. "

"බබාලා දෙන්න හොදටම නිදි තනියම දාල යන්න බැහැනේ.. ඔයාට බැරිද මොනවහරි ගේන්න ?.. ඇහැරවන්න හිතෙන්නේ නැහැ පාන්දර හතරේ ඉදලනේ මේ.."

වාහනේ පිටුපස අසුනේ ආරක්ෂක පටිවලට තදවී උවද තද නින්දේ පසුවන සිවු වියැති පුතාත් සය වියැති දුවත් දෙස මම බැල්මක් හෙලිමි.

"අපි අත්තම්මලගේ ගෙදර යන්නේ කවද්ද ? "

"අපි දෙසැම්බර් නිවාඩුවට යනවා .."

"දෙසැම්බර් කියන්නේ කවද්ද ? තව ගොඩක් දුරද ?"

"තව ටිකක් කල් තියනවා දු .."

එතැන් පටන් මාසයක් "හෙට දෙසම්බර්ද අම්මි ?" යයි දිනකට දෙතුන් වතාවක් කන්තිගෙන් විමසු දියණිය මගේ මුවගට සිහින් සිනහවක් එක්කලාය.. අත්තම්මා ට පෙන්වීම සඳහා මේවසරේ පාසලට ඇතුලත් වීමට රැගෙන දුන් පොත් සියල්ල ඈ ගෙනවිත් තිබිණ.

"ඔයා ඉන්න එහෙනම් .. මොනවද ගෙන්න ඕනේ "

"බටර් කේක් එකක් ගමු. ආ මතක් කරලා කිබුල බනිස් ගන්න .. ඔයාලගේ අම්මා හරි කැමතිනේ"

"හ්ම්ම් මම ගේන්නම් .. මේ යතුර තියාගන්න.."

මා රථයෙන් බැස කඩය දෙසට ඇවිද ගියෙමි. සතියේ දවසක උදෑසනක් නිසාවෙන්දෝ සැලකියයුතු පිරිසක් ඇනවුම් කවුලුව අසල රැදී සිටී.. කබඩ්ඩුවේ තිබු අහාර දෙස බැල්මක් හෙලු මා සැහීමකට පත් වූ නිසාවෙන් පෝලිමට එක වුයෙමි.

විනාඩි දෙකතුනක වෙලවී වීමකින් පසු ඇනවුම් කවුළුව අසලට මා ලංවත්ම පිටට දැමුණු තට්ටුවකින් මා ආපසු හැරුනෙමි.

"අනේ පුතේ මට ටිකක් ඉඩදෙන්න"

ඈ වයස 70ක පමණ මාතාවකි.. පාණ්ඩු පාට සුදට හුරු සාරියකින් සැරසී උන් ඈ මුව පුරා බයාදු පෙනුමක් නගා කල ඉල්ලීම කාගේත් සිත් උණු කරවන්නකි.. මම ඈට ඉඩ දුනිමි .

"මොනාද අම්මේ ඕනේ !" කැෂියර් තැන එතරම් කරුණාවන්ත වීම මා ඉතා පසසමි.. ඔහු සැබවින්ම කරුණාවන්ත බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කළේය..

"අනේ පුතේ මාගාව රුපියල් විස්සක් තියනවා මට බනිස් එකක් දෙන්න පුලුවන්ද .. හොදටම බඩගිනි .."

මගේ සිත ගත සිතල වී ගියේය. ඊලග මොහොතේ කැෂියර් තැනගෙන් ඇය අසන බැනුම් මට මැවී පෙනුනි.. එහෙත් මා වැරදිය..

"ආ .. අම්මා ඕක තියාගන්න. අරපැත්තෙන් ගිහින් වාඩි වෙන්නකෝ මම එවන්නම්."

ඈ මුව පිරි සිනාවෙන්ම අසුන් ගත්තාය.

"සුමනේ අයිය අන්න අර අම්මට බනිස් එකකුයි ටී එකකුයි දෙනවා.. පවු බන්"

සුමනේ ලෙස හැදින් වූ පුද්ගලයා ඇයට බන්දේසියක තැබූ බනිස් ගෙඩිය සහ තේ කෝප්පය ලබාදෙන විට දෑතින්ම එය ලබාගත් ඈ කඩේ සිටී සියලු දෙනාට පින් පමුණුවනු මට ඇසිනි..

"මහත්තය මොනවද ?"

පියවි සිහියට පැමිණි මා "බටර් කේක් කිලෝ දෙකයි .. කිබුල බනිස් දෙකයි" යනුවෙන් වෙවුලන හඬින් කීවෙමි ..
"මහත්තය විනාඩි 5ක් ඉන්න පුලුවන්ද ? අලුත්ම කේක් අරගත්තහැකි "

"හා  කමක් නැහැ "

මා ලද ඇසිල්ලෙන් නැවතත් මාතාව දෙස බැලීමි .. ඈ කිසිදු දුකක් නොවිදින එකියක ලෙසින් පෙර මුව පිරි සිනාවෙන්ම බනිස් ගෙඩිය රසවිදි. මම ඇය දෙසට ලං වීමි ..

"අම්මා කොහෙද යන්නේ"

හනික බනිස් ගෙඩියේ ඉතිරි හරිය තසිම මත තැබූ ඈ ..

"අනේ පුතේ මම මේ මගේ ඇස් දෙක පෙන්නන්න ඉස්පිරිතාලේ ගියා.. එනගමන් සල්ලි කියක් හරි ඉල්ලගන්න කොහුවලින් බැස්ස.."

"හරි හරි අම්ම කන්න .." මම සිනා මුසු මුහුණින් දෙස බැලුවද අගේ කියමනේ අග කොටස මට අපබ්‍රන්සයක්ම විය.. තාමත් ඈ බනිස් ගෙඩිය අතට ගෙන නැත..

"සල්ලි ඉල්ලගන්න කිවුවේ?"

මා මගේ ගැටලුව  ඇයට යොමු කලෙමි..

"මම බණ්ඩාරගම ඉන්නේ පුතේ උදේට ටවුමට ඇවිත් කාගෙන් හරි කියක් හරි ඉල්ලගෙන බෙහෙත් ගන්න එනවා .. මගේ ඇස දෙකේම සුද එනවා අප්පච්චියෝ!!... තනියම ඉන්න මට ඇස දෙක නැතිඋනොත් මොන කොරන්ඩද මයේ අප්පා!!.. යන්ට සල්ලි ඉල්ලන්නේ මෙහෙ කාගෙන් හරි තමා පුතේ."

"ඉතින් අම්මගේ දරුවෝ .."

මා ඇසුවේ නැසිය යුත්තක්දැයි මට සිතේ. නමුත් වචන පිට වී අවසන්ය ..

"මයේ පුතා බෝම්බෙකට අහුවෙලා මලා පුතේ.. " ඇගේ පිළිතුර අග දිගු සුසුමක් ඈදී තිබිණි.. හදිසියේ යමක් මතක් වූ මෙන් ඈ යලිත් අගේ මුව පිරි බයාදු සිනාව නගමින් බනිස් ගෙඩිය අතට ගත්තාය ..

"මහත්තය මෙන්න කේක් එක .."

"මට තව මාලු බනිස් 4කුයි කිරිපැකට් 4කුයි ත් දෙන්න.." කාන්ති  සහ දරුවන් සඳහාය ඒ.. ඉතිරි ලැබුණු රුපියල් සියය අතට ගත මා ඈ අසලට ගියෙමි.

"අම්මා මේක තියාගන්න" මම එය මහලු මව අත මිටි මෙලවුයෙමි ..

"අනේ මගේ මහත්තයට බුදුබව අත්වෙන්න ඕනේ .. සුබ අලුත් අවුරුද්දක්ම වෙන්ටොනේ මයේ දෙයියෝ.. "ඈ දන්නා සියලු දෙවි දේවතාවුන්ට මා බාර කලාය ...

"ආ මෙන්න .. " මම මල්ල කාන්ති අතට දී රියදුරු අසුනේ වාඩිවීමි..

"අපි මේවා කාලම යමු .. "

අසීරුවෙන් මාර්ගයට ගත රථය නැවත රතපෙල තුලට දාවනය කිරීමට විනාඩි කිහිපයක්ම ගතවිය . කොහුවල මංසන්දියේ සංඥා පහන් අසල අවසර ලැබෙන තුරු රතපෙල නැවතින..

රථයේ වීදුරුවට දැමුණු තට්ටුවකි .. තද නින්දේ පසුවන දරුවෙකු වඩාගත් මවක් නැවතී තිබුණු වාහන අතර සිගමන් යදී .. මේ ඈට සවන්දීමේ අපේ වාරයයි..

"අනේ මහත්තයෝ දරුවා බඩගින්නේ කන්න දෙයක් ගන්න කියක් හරි දෙන්න.."

මා මුදලක් අතැතිව රථයේ වීදුරුව පහත් කරන්නට සැරසෙත්ම කාන්ති මා වලකාලිය ..

"අනේ එපා දෙන්න.. "

"ඇයි ?"

මටත් කලින් සිත උණුවන තැනැත්තිය වූ කාන්තිගේ මේ වලකාලීම මට නුපුරුදු දෙයක් විය .. ඒසමගම රතපෙල ඉදිරියට ඇදින.

"ඇයි දෙන්න එපා කිවූවේ ?"

"අනේ බලන්න ඒ ගෑණුකෙනා මේ වාහන මැද්දේ ළමයත් වඩාගෙන සල්ලි එකතු කරනවා .. වාහනේක  හැප්පුනොත් .. අපි  සල්ලි දෙන නිසානේ ඒ මනුස්සය ඕකට පුරුදු වෙලා තියෙන්නේ .. එතකොට ඒ වෙන අනතුරට අපිත් වැරදි කාරයෝ"

ඇගේ කියමනේ නිවැරදි බවක් නොපෙනුනද එහි තර්කාන්විත බව මා නිහඩ කරවීය ..

"පවු අම්මා කෙනෙක්නෙ .. " යන්න පමණක් මම මුවගට නගා ගත්තෙමි ..

"ඔයාම හිතන්න බලන්න .. මේ වාහන මැද්දේ මෙච්චර සද්දේ ගිනි අවුවේ කිසිදෙයක් නැහෙන විදියට මරුන වගේ නිදියන ළමයෙක් ඉන්න පුලුවන්ද කියල.. අනික කොයි අම්මටද පුළුවන් එහෙම දරුවෙක්ට දුක් දෙන්න .. මම නම් කියන්නේ ඒ ගෑණි කරන්නේ බොරුවක්.. අර පත්තරෙත් තිබුනේ මත පෙති දීල දරුවෝ මත්කරලා හිගාකාන්න අරන් යනවා කියල.."

ඇගේ තර්කය ස්ථාවරය .. මම හ්ම්ම් හඩකින් හා පසුව ඇදුනු නිහැඩියාවකින් පිළිතුරු සැපයීමි.
..................................................................................................................................................

"අමමා අපි දැන් කොහෙද ?" දියණිය අවදි වී ඇත .. පුතු තවමත් සුව නින්දේය ..

"අපි දැන් පිළියන්දල .. "

"අත්තම්මගේ  ගේ ලගද ?"

"තව ටිකයි .."

"ගොඩක් ටිකද ?"

මම මහපාරෙන් දකුණු පසට හරවා මහ ගෙදරට යන අතුරු පාරට හැරවිමි .. බොරළු පොලවේ ගැටෙන ටයරයේ හඬ සරසර නදින් රථය තුලට එද්දී, ඉදහිට බොනට්ටුවේ වදින බොරළු කැටයක් එහි ස්වරය වෙනතකට යොමු කෙරිය..

විවරව තිබු ගේට්ටුවෙන් මහගේ වත්තට රථය ඇතුළු වන විටම .. මුව පුරා සිනහවක් නගාගත් අම්මා මිදුලට පැමිනියාය..