Monday, September 5, 2016

උට පිස්සු ...

ටින් බෙලෙක් දෙක තුනක් එකට බැඳ         කිටිකිටියේ
ගල් කැටක් ගෙන තලන ඔහු වරෙක මා        දිටියේ 
පාවහන් අතදමා හඬ තලා හරි                     හරියේ 
නගර මැද එහෙ මෙහේ ඔහු දුවයි                 කලබලයේ 

අලුවන්ව හැඩ ගැසුණු කෙහෙ වැටිය               සුරමින 
විටෙක ඔහු හඬනවා මහා පොළොවේ             වැතිරගෙන
දුක් රසය විදි දනා දෙන කෑම උරය                   ගෙන
මල් සිනා නගනවා කෝල බැලුමන්                  දෙමින 


සඳ නැගී එන විටදී රාත්‍රිය                             බබලමින
ඔහු දනී සුව තැනක් පාලමක් යට                     තිබෙන
නිදි නොඑන මන කියන කතන්දර පොත         රැගෙන
ඔහු ඇදෙයි පාලමට ගෝනි මලු පොදිය             ගෙන  

පාලමේ බිතු අතර මනෝ නිවහන                    තැනේ
ඇග යනෙන කුහුඹු රැල ඔහුට කිතියක්             ගෙනේ
කුණු ඇලේ ජල දහර නගන සිලි                      සිලියෙනේ
බලු බලල් කැල අතර ඔහුගේ රැය ගත               උනේ

නිදි අහිමි දෙඇස මත ලහිරු රැස                   නගමිනේ 
කදමල්ල රැගෙන ඔහු යලිත් මෙහි එනු          පෙනේ
බඩගින්න පිපාසය නොදැනුනත්                   එලෙසිනේ
දුක දන්න හදවතක් ඔහු සොයනු මට            දැනේ

බත්කටක් දිය බිඳක් මට දෙන්න                   කියමිනේ
හිත කියන මුත් ඔහුගේ වචන නෑ                   පිට උනේ
කටින් එන වදන් ගෙන කඩේකට                  ගොඩ උනේ 
ඔය පිස්සා එලවපිය හඩින් ඔහු                     ගැස්සුනේ 




  

3 comments:

  1. හිතට දැනුන කවි ටිකක් සහෝ. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  2. බොහෝමයක් කවියන්ට හසු නොවූ ඉතා සංවේදී වස්තු බීජයක්. ලියපන් පුතා. උඹලා වගේ සංවේදි මිනිසුන් ලෝකයට අවශ්‍යයි. ලේඛකත්වයට වඩා උඹේ සංවේදීත්වය මම අගය කරනවා. සංවේදී මිනිහෙකුට තමයි හොඳ කවියෙක් විතරක් නොවේ හොඳ මනුස්සයෙක් වෙන්නටත් සුදුසුකම් තියෙන්නේ. එහෙම නැත්නම් ඒ සියල්ලක්ම වස්තු බීජයක් මත රඟදෙන අකුරු විතරයි. මේක ජෙනුයින් අකුරු කිරීමක්. හෙමින් පලයන්..ඒත් සවිබර වෙයන්.

    ReplyDelete
  3. මම මේ වගේ අයව දැකලා තියෙනවා...මේක ගොඩක් සංවේදියි...දිගටම මේ බ්ලොග් එක බලන්න එන්නම්..ස්තූතියි අරුණ පාර පෙන්නුවට

    ReplyDelete