Monday, December 21, 2015

අම්මා සහ අම්මලා

"අම්මට මොනවද අරන් යන්නේ ?"..

නුගේගොඩ පසුවත්ම කාන්තිගේ සුපුරුදු පැනය ඇ මට යොමු කරයි. පසුපස අසුනේ දුවත් පුතාත් සුව නින්දේ පසුවන බව පසු කන්නාඩියෙන් පෙනේ. පාර පුරා ඉබාගාතේ දිවයන ත්‍රිරෝද රථ වලින් බේරී වාහන පෙළ අතර රථය රඳවා ගැනීමට මා දරන වෑයම තේරුම් ගිය නිසාවෙන්දෝ කාන්ති දීර්ග කතාවකට මුලපුරන්නේ නැති තරම්මය.

"ඉන්න මෙටික පහුවෙලා නවත්තමු."

වාහනය නැවතිය හැකි ඉඩකඩක් සොයාගත් විගස නවත්වන අටින් වහනය වම්පසට ගත් මා සෙමින් ඉදිරියට පදවිමි. කොහුවල මංසන්දිය අසල ඉඩ කඩක වහනය නවතාගන්නට හැකිවීම ගැන මම මහත් සතුටට පත්වීමි.

"යමු මෙතන ඉස්සරහ බේකරියක් තියනවා .. "

"බබාලා දෙන්න හොදටම නිදි තනියම දාල යන්න බැහැනේ.. ඔයාට බැරිද මොනවහරි ගේන්න ?.. ඇහැරවන්න හිතෙන්නේ නැහැ පාන්දර හතරේ ඉදලනේ මේ.."

වාහනේ පිටුපස අසුනේ ආරක්ෂක පටිවලට තදවී උවද තද නින්දේ පසුවන සිවු වියැති පුතාත් සය වියැති දුවත් දෙස මම බැල්මක් හෙලිමි.

"අපි අත්තම්මලගේ ගෙදර යන්නේ කවද්ද ? "

"අපි දෙසැම්බර් නිවාඩුවට යනවා .."

"දෙසැම්බර් කියන්නේ කවද්ද ? තව ගොඩක් දුරද ?"

"තව ටිකක් කල් තියනවා දු .."

එතැන් පටන් මාසයක් "හෙට දෙසම්බර්ද අම්මි ?" යයි දිනකට දෙතුන් වතාවක් කන්තිගෙන් විමසු දියණිය මගේ මුවගට සිහින් සිනහවක් එක්කලාය.. අත්තම්මා ට පෙන්වීම සඳහා මේවසරේ පාසලට ඇතුලත් වීමට රැගෙන දුන් පොත් සියල්ල ඈ ගෙනවිත් තිබිණ.

"ඔයා ඉන්න එහෙනම් .. මොනවද ගෙන්න ඕනේ "

"බටර් කේක් එකක් ගමු. ආ මතක් කරලා කිබුල බනිස් ගන්න .. ඔයාලගේ අම්මා හරි කැමතිනේ"

"හ්ම්ම් මම ගේන්නම් .. මේ යතුර තියාගන්න.."

මා රථයෙන් බැස කඩය දෙසට ඇවිද ගියෙමි. සතියේ දවසක උදෑසනක් නිසාවෙන්දෝ සැලකියයුතු පිරිසක් ඇනවුම් කවුලුව අසල රැදී සිටී.. කබඩ්ඩුවේ තිබු අහාර දෙස බැල්මක් හෙලු මා සැහීමකට පත් වූ නිසාවෙන් පෝලිමට එක වුයෙමි.

විනාඩි දෙකතුනක වෙලවී වීමකින් පසු ඇනවුම් කවුළුව අසලට මා ලංවත්ම පිටට දැමුණු තට්ටුවකින් මා ආපසු හැරුනෙමි.

"අනේ පුතේ මට ටිකක් ඉඩදෙන්න"

ඈ වයස 70ක පමණ මාතාවකි.. පාණ්ඩු පාට සුදට හුරු සාරියකින් සැරසී උන් ඈ මුව පුරා බයාදු පෙනුමක් නගා කල ඉල්ලීම කාගේත් සිත් උණු කරවන්නකි.. මම ඈට ඉඩ දුනිමි .

"මොනාද අම්මේ ඕනේ !" කැෂියර් තැන එතරම් කරුණාවන්ත වීම මා ඉතා පසසමි.. ඔහු සැබවින්ම කරුණාවන්ත බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කළේය..

"අනේ පුතේ මාගාව රුපියල් විස්සක් තියනවා මට බනිස් එකක් දෙන්න පුලුවන්ද .. හොදටම බඩගිනි .."

මගේ සිත ගත සිතල වී ගියේය. ඊලග මොහොතේ කැෂියර් තැනගෙන් ඇය අසන බැනුම් මට මැවී පෙනුනි.. එහෙත් මා වැරදිය..

"ආ .. අම්මා ඕක තියාගන්න. අරපැත්තෙන් ගිහින් වාඩි වෙන්නකෝ මම එවන්නම්."

ඈ මුව පිරි සිනාවෙන්ම අසුන් ගත්තාය.

"සුමනේ අයිය අන්න අර අම්මට බනිස් එකකුයි ටී එකකුයි දෙනවා.. පවු බන්"

සුමනේ ලෙස හැදින් වූ පුද්ගලයා ඇයට බන්දේසියක තැබූ බනිස් ගෙඩිය සහ තේ කෝප්පය ලබාදෙන විට දෑතින්ම එය ලබාගත් ඈ කඩේ සිටී සියලු දෙනාට පින් පමුණුවනු මට ඇසිනි..

"මහත්තය මොනවද ?"

පියවි සිහියට පැමිණි මා "බටර් කේක් කිලෝ දෙකයි .. කිබුල බනිස් දෙකයි" යනුවෙන් වෙවුලන හඬින් කීවෙමි ..
"මහත්තය විනාඩි 5ක් ඉන්න පුලුවන්ද ? අලුත්ම කේක් අරගත්තහැකි "

"හා  කමක් නැහැ "

මා ලද ඇසිල්ලෙන් නැවතත් මාතාව දෙස බැලීමි .. ඈ කිසිදු දුකක් නොවිදින එකියක ලෙසින් පෙර මුව පිරි සිනාවෙන්ම බනිස් ගෙඩිය රසවිදි. මම ඇය දෙසට ලං වීමි ..

"අම්මා කොහෙද යන්නේ"

හනික බනිස් ගෙඩියේ ඉතිරි හරිය තසිම මත තැබූ ඈ ..

"අනේ පුතේ මම මේ මගේ ඇස් දෙක පෙන්නන්න ඉස්පිරිතාලේ ගියා.. එනගමන් සල්ලි කියක් හරි ඉල්ලගන්න කොහුවලින් බැස්ස.."

"හරි හරි අම්ම කන්න .." මම සිනා මුසු මුහුණින් දෙස බැලුවද අගේ කියමනේ අග කොටස මට අපබ්‍රන්සයක්ම විය.. තාමත් ඈ බනිස් ගෙඩිය අතට ගෙන නැත..

"සල්ලි ඉල්ලගන්න කිවුවේ?"

මා මගේ ගැටලුව  ඇයට යොමු කලෙමි..

"මම බණ්ඩාරගම ඉන්නේ පුතේ උදේට ටවුමට ඇවිත් කාගෙන් හරි කියක් හරි ඉල්ලගෙන බෙහෙත් ගන්න එනවා .. මගේ ඇස දෙකේම සුද එනවා අප්පච්චියෝ!!... තනියම ඉන්න මට ඇස දෙක නැතිඋනොත් මොන කොරන්ඩද මයේ අප්පා!!.. යන්ට සල්ලි ඉල්ලන්නේ මෙහෙ කාගෙන් හරි තමා පුතේ."

"ඉතින් අම්මගේ දරුවෝ .."

මා ඇසුවේ නැසිය යුත්තක්දැයි මට සිතේ. නමුත් වචන පිට වී අවසන්ය ..

"මයේ පුතා බෝම්බෙකට අහුවෙලා මලා පුතේ.. " ඇගේ පිළිතුර අග දිගු සුසුමක් ඈදී තිබිණි.. හදිසියේ යමක් මතක් වූ මෙන් ඈ යලිත් අගේ මුව පිරි බයාදු සිනාව නගමින් බනිස් ගෙඩිය අතට ගත්තාය ..

"මහත්තය මෙන්න කේක් එක .."

"මට තව මාලු බනිස් 4කුයි කිරිපැකට් 4කුයි ත් දෙන්න.." කාන්ති  සහ දරුවන් සඳහාය ඒ.. ඉතිරි ලැබුණු රුපියල් සියය අතට ගත මා ඈ අසලට ගියෙමි.

"අම්මා මේක තියාගන්න" මම එය මහලු මව අත මිටි මෙලවුයෙමි ..

"අනේ මගේ මහත්තයට බුදුබව අත්වෙන්න ඕනේ .. සුබ අලුත් අවුරුද්දක්ම වෙන්ටොනේ මයේ දෙයියෝ.. "ඈ දන්නා සියලු දෙවි දේවතාවුන්ට මා බාර කලාය ...

"ආ මෙන්න .. " මම මල්ල කාන්ති අතට දී රියදුරු අසුනේ වාඩිවීමි..

"අපි මේවා කාලම යමු .. "

අසීරුවෙන් මාර්ගයට ගත රථය නැවත රතපෙල තුලට දාවනය කිරීමට විනාඩි කිහිපයක්ම ගතවිය . කොහුවල මංසන්දියේ සංඥා පහන් අසල අවසර ලැබෙන තුරු රතපෙල නැවතින..

රථයේ වීදුරුවට දැමුණු තට්ටුවකි .. තද නින්දේ පසුවන දරුවෙකු වඩාගත් මවක් නැවතී තිබුණු වාහන අතර සිගමන් යදී .. මේ ඈට සවන්දීමේ අපේ වාරයයි..

"අනේ මහත්තයෝ දරුවා බඩගින්නේ කන්න දෙයක් ගන්න කියක් හරි දෙන්න.."

මා මුදලක් අතැතිව රථයේ වීදුරුව පහත් කරන්නට සැරසෙත්ම කාන්ති මා වලකාලිය ..

"අනේ එපා දෙන්න.. "

"ඇයි ?"

මටත් කලින් සිත උණුවන තැනැත්තිය වූ කාන්තිගේ මේ වලකාලීම මට නුපුරුදු දෙයක් විය .. ඒසමගම රතපෙල ඉදිරියට ඇදින.

"ඇයි දෙන්න එපා කිවූවේ ?"

"අනේ බලන්න ඒ ගෑණුකෙනා මේ වාහන මැද්දේ ළමයත් වඩාගෙන සල්ලි එකතු කරනවා .. වාහනේක  හැප්පුනොත් .. අපි  සල්ලි දෙන නිසානේ ඒ මනුස්සය ඕකට පුරුදු වෙලා තියෙන්නේ .. එතකොට ඒ වෙන අනතුරට අපිත් වැරදි කාරයෝ"

ඇගේ කියමනේ නිවැරදි බවක් නොපෙනුනද එහි තර්කාන්විත බව මා නිහඩ කරවීය ..

"පවු අම්මා කෙනෙක්නෙ .. " යන්න පමණක් මම මුවගට නගා ගත්තෙමි ..

"ඔයාම හිතන්න බලන්න .. මේ වාහන මැද්දේ මෙච්චර සද්දේ ගිනි අවුවේ කිසිදෙයක් නැහෙන විදියට මරුන වගේ නිදියන ළමයෙක් ඉන්න පුලුවන්ද කියල.. අනික කොයි අම්මටද පුළුවන් එහෙම දරුවෙක්ට දුක් දෙන්න .. මම නම් කියන්නේ ඒ ගෑණි කරන්නේ බොරුවක්.. අර පත්තරෙත් තිබුනේ මත පෙති දීල දරුවෝ මත්කරලා හිගාකාන්න අරන් යනවා කියල.."

ඇගේ තර්කය ස්ථාවරය .. මම හ්ම්ම් හඩකින් හා පසුව ඇදුනු නිහැඩියාවකින් පිළිතුරු සැපයීමි.
..................................................................................................................................................

"අමමා අපි දැන් කොහෙද ?" දියණිය අවදි වී ඇත .. පුතු තවමත් සුව නින්දේය ..

"අපි දැන් පිළියන්දල .. "

"අත්තම්මගේ  ගේ ලගද ?"

"තව ටිකයි .."

"ගොඩක් ටිකද ?"

මම මහපාරෙන් දකුණු පසට හරවා මහ ගෙදරට යන අතුරු පාරට හැරවිමි .. බොරළු පොලවේ ගැටෙන ටයරයේ හඬ සරසර නදින් රථය තුලට එද්දී, ඉදහිට බොනට්ටුවේ වදින බොරළු කැටයක් එහි ස්වරය වෙනතකට යොමු කෙරිය..

විවරව තිබු ගේට්ටුවෙන් මහගේ වත්තට රථය ඇතුළු වන විටම .. මුව පුරා සිනහවක් නගාගත් අම්මා මිදුලට පැමිනියාය..

2 comments:

  1. ඩ්‍රයිවර් උන්නැහේ කාලෙකට පස්සෙ නිළ රථයට ගොඩවෙලා වගේ. සිරා කථාව බං. අම්මල හතරදෙනෙක්.

    ReplyDelete
  2. 'Chethanahang bikkaway kammang wadami' isn't it? You can't analyse too much when a mother old or young ask for help. If your intention is good, what they do with the money is beyond our control

    ReplyDelete