Tuesday, September 20, 2016

බෝඩිම

හිනාවක් කතාවක් රුවක් නැති කුටිය තුල
සෙයිලමේ මන් ගෙවන  විඩාබර සවස් කල
ඔබ දනී නොදනනීද ගෙවෙන කල, කටු කොහොල
සිපිරි ගෙය මෙය මගේ කුමද මම වරද කල

රළු අතින් හැදෙන බත ඇල් රසට ගිලෙන කල
රෝස් ගඳින් මාලු පිනි නාස් පුඩු දැවෙන කල
මුදල් මිස හදක් නැති නොමිනිසුන් විඳින කල
සතර පෙර නිම් මැවේ පාලු මේ කුටිය තුල

කුජනය පසෙක ලා ගර්ජනය කන නැගෙන
හුස්ම පොද පවා විස සෙයිලමේ මම හිඳින
එකුන් පරයා නැගී තරගයට යුද වැදෙන
යුද්ධයේ ජයක් කීම පරාජය මිස ලැබෙන

සතර කොන පාළු ගෙයි තනිකමෙන් දැවී දැවී
ගෙවෙන කල අද නිමෙයි හෙට නිමෙයි ලත වේවි
කෙළවරක් නොපෙනි කල සිත දැවෙයි දැඩි වේවි
බලකරයි අනකරයි නිමන්නට දුක් දිවි

Monday, September 19, 2016

අනෝරා ආදරය

කළා වැව ඉරි රටා වත හැඳි
තේමා වැටෙනා අනෝරා වැසි
ඔබත් මාවත් කොනක තනිකර
මමත් ඒ කොන අතර මන් කල.

වැසිත් වැහිබිඳු සිසිල් දිය පිරි
සිතත් ගත උණුසුම් ව තිබී හැටි
ඔබේ සුළැඟිලි අකුණු පහරින්
මගේ බඹසර සසල වූ හැටි.

තවත් මතකයේ රැඳී ලෙලදෙයි
අනෝරා වැසි සිසිල දැනී කල..............

නෙතින් නෙත් සිප හැගුම් මත්කර
මගේ පෙම්සිත අවදිකල සැටි.
සුසුම් සුවඳින් කෝල වදනින්
සිතේ පෙම් මල් උයන් මැවූ සැටි

තවත් මතකයේ රැඳී ලෙලදෙයි
අනෝරා වැසි සිසිල දැනී කල..............

Thursday, September 8, 2016

බර කොකු ....

"අද නම් ඔය ඩොක්ට හම්බෙන්න යන්නම ඕනේ...."

බිරිඳගේ හඬ ස්ථාවරය. ඈ පරල වන අවස්ථා විරල වන නිසාවෙන්ම ඇගේ මේ ආයාචනාත්මක අනකිරිම ඉවත ලා ගත නොහැකි මොහොතකය මා සිටියේ. 

පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවන මා තවමත් 28 වන වියේ පසුවුවද, දවසේ වැඩිමනක් පුටුවේ, එකම ඉරියවුවෙන් කාලය ගතකරන නිසාවෙන්දෝ නගරබද සමාජයේ පතල රෝග රැසක ගොදුරු ඉසවුවට නුදුරින් සිටිමි. 

දිනෙන් දින නොපසුබස්නා ලෙස ඉදිරියට නෙරා එන උදරයත්, එහා සමව සිදුවන බරෙහි උද්ගමනයත් මගේ සෞඛ්‍යයේ පසු බස්නා බවට පෙරමන් ලකුණු විය.

රැකියාව විසින් වෙන් කරන ලදුව සතියකට දෙදවසක් වූ සති අන්තයේ පමණක් හමුවන මගේ බිරිඳට, එදිනෙදා කන්නාඩියෙන් මුහුණ බලන මට වඩා මේ වෙනස දැනුනා විය යුතුය. දැනට සති කිහිපයක සිට වෛද්‍ය වරයෙකු මුණගැසී රුධිර පීඩනය පරික්ෂ කරවා ගන්නට  ඇවිටිලි කරන්නේ මේ නිසා වන්නට ඇත. පෙර අවස්ථා කිහිපයේදීම කුමක්හෝ කියා එය මගහැරීම පිළිබඳව හේතුව කුමක්දැයි මමම නොදනිමි. යමෙක් එයට අලසකම යයි කියතොත් මම උරණ නොවෙමි.

හැකිතරම් වෙලාව ගෙන, මා ඇඟ පත සෝදාගෙන පැමිණෙන විටත් ඈ සුදානම් වී පෙරගමන් කොටය. සැහැල්ලු ඇඳුමකින් සැරසුණු මා කාරය ගරාජයෙන් පිටතට ගනිද්දී ඈ ගේට්ටුව විවර කර මා පිටතට කල එය වසා රථයට ගොඩවුවාය.

"කාගෙන්ද බෙහෙත්ගන්නේ".. 

අසල ටවුමේ බෙහෙත් සාප්පු කිහිපයක්ම තිබෙන නිසාවෙන් මම ඇගෙන් විමසුවේ මට වඩා මා ගැන උවමනාවක් දැක්වූ ඈ, සතුටු තැනකට යායුතු බැවිනි.

"වන්ෂොට් ලගට යමු"

මා බොහෝ ප්‍රදේශවල දැක ඇති වන්ෂොට් වර්ගයේ දොස්තර මහතෙක් මෙහිද බෙහෙත් සාප්පුවක් පවත්වාගෙන යන්නේ නගරයේ කෙළවරකට වන්නට හොදින් ඉඩ කඩ ඇති ස්ථානයකය.වෙනත් ස්ථාන වලින් දෙතුන් වරක් ඖෂධ ලබා ගතයුතු අසනීප එක බෙහෙත්වේලෙන් සනීප කිරීම වන්ෂොට් වීමට පවතින සුදුසුකම වේ.ලෙඩ ඇසීමට වඩා තමන්ගේ වරුනාවෙන් අනුන් පිනවීම. හෙම්බිරිස්සවත් පිලිකාවත් නොවෙනස්ව විස්තර කිරීම සහ සහනය පතා යන රෝගීන් බිය වැද්දීම, මිට අමතර සුදුසුකම් ලෙස මා සලකමි. 

මා කෙසේ වෙතත් ජනයාගේ නොමද කැමැත්ත සහ ගෞරවය සහ මුදල් නිබඳ ලබන්නට සමත් වන්නෝ මොවුහු වෙති. 
වන් ෂොට් නැතොත් ඔහු එන දවසක් වන තෙක් අසනීපයෙන් බලා සිටිනු මිස, දරාගනු නොහැකිම අසනීපයක් නොවෙතොත්, වෙනත් වෛද්‍ය වරයෙකු වෙත යාමට බොහෝ දෙනා අකමැතිය. 

"එතන දැන් සෙනග ඇති. අනික පෙෂර් බලන්න පෝලිමේ ඉන්න ඕනෙද ? වෙන තැනක් නැද්ද ?" 

අකමැත්ත සගවා මම ඇගෙන් ඇසීමි.

"එහෙනම් අර පාරට හැරෙන තැන ලේඩි ඩොක්ටර් ?"

වරක් දෙවරක් කාරය නවතා ඈ බෙහෙත් සාප්පුවට යනු මා දැක ඇත්තෙමි.. නමුත්  ඇගෙන් ප්‍රතිකාරයක් ගැනීමට කිසිදා ඈ හමු නොවුයේ වෙනකකට වඩා ඖෂධ ලබා ගැනීමට තරම් අසනීපයක් නොතිබූ නිසාවෙනි.
කෙසේවෙතත් මා ඈ වෙත යාම නිහැඩියාවකින් අනුමත කලෙමි.

ඉඩ කඩ ඇති තැනක පාරේ වම්පසට වන්නට වාහනය ගාල්කළ අපි බෙහෙත් සාප්පුවට ඇවිද ගියෙමු. අප හැර කිසිවෙකු සාප්පුවේ නොමැත.. අඩවල් දොර අතරින් වැනුනු අතකින් අපි ඇතුලට කැඳවුම් ලදිමු. ඈ වෛද්‍ය තුමියයි. 

අවශ්‍ය කටයුතු සිදුකල ඈ මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කෙලෙන් පෙරැත්ත කිරීමට අපට සිදුවිය.

"හරි හොද ඩොක්ට නේද ?" රථයට ගොඩ වෙමින් බිරිඳ හඬ අවදි කලාය.

"හ්ම්ම්.. දැන් කොහෙද යන්නේ.. ගෙදරද ?" 
"ආපු එකේ එළවලු ටිකක් අරන්ම යමු" ඈ ආරක්‍ෂිත පටිය සකසමින් පැවසුවාය.

හදිසියේ වාහන දොරට දැමු තට්ටුවකි. පිටතින් සිටි ඈ යමක් කියනබව ඇගේ අංග චලනයෙන් මා දත් නමුත් වැසුණු වීදුරුව හරහා තුලට ගලා ඈ සියුම් ශබ්දය තේරුම් ගත නොහැකි නිසාවෙන් මම ජනේලය විවර කලෙමි.

60 වියට ආසන්න චිත්තයකින් සහ හැට්ටයකින් සැරසුණු ඈ ප්‍රසන්න ගැහැණියකි. 

"මහත්තය බර කොකු ගන්නවද ? කොලස්ටෝරෝල්, දියවැඩියාව, ඔය ආහාර අජිරණ වලට බොහොම හොදයි. නෝනා මේ බලන්න මෝරල නෑ පොඩ්ඩක්වත්.."

කැලෑ ගමක හැදුනු වැදුණු මා නොඇසූ බරකොකු මගේ බිරිඳ කෙසේවත් නොදැන සිටින්නට ඇත.

"අනේ ඇන්ටි අපි දන්නේ නෑනේ ඕව උයන්න. කියද එකක් ?"

මම ඇගෙන් විමසුවෙමි.

"කොහිල වගේ උයන්න ඕනේ මහත්තය. අනේ මම මේ පොලට ගෙනිහින් විකුණගන්න බැරිඋන ඩිංග තමා තියෙන්නේ  මේ දෙකම අරන් 70ක් දෙන්ට නෝනා"

බිරිඳ රුපියල් සියයක් මා ඇත තැබීය.. මම එය ඈ ඇත තබා එක් මිටියක් පමණක් අතට ගතිමි.

"ඉතිරි සල්ලි ගන්න එපා.." බිරිඳ මා වෙත කෙඳිරිය.

"නෑ නෑ ඉතිරි ඕනේ නෑ ඕක ගන්න". ඇත වූ සිලි මල්ලක් අවුස්සමින් 20 කොළ තොරණ ඈ ගේ තැත මම වලකාලීමි.

"අනේ බොහොම පින් සිද්ද වෙන්ට ඕනේ මහත්තය. අද ගෙනිච්ච ඒවා හුගක් ඉතුරු උනා. නෝනා මහත්තල මේ ලග නෙවේ නේද ?"

ගමට අලුත් වූ මා මෙන්ම අවුරුදු 7-8 ක් ගමෙන් පිට සිටි මගේ බිරිඳද ගමට අමතකව ගොස් ඇත. 

"නෑ අපිමේ ළඟ .."

"ළඟ කොහෙද ?" ඈ දැඩි කුතුහලයෙන් පිරිවිසයි. මා ස්ථානය කියන්නට සැරසුණා පමණි. කලවයේ නැගුනු සිහින් වේදනාවකින් මා බිරිඳ දෙස ඇස කොනින් බැලීමි. ඈ මා කොනිත්තා ඇත. මේ මා නොකිය යුත්තකි.

"මෙතනින් වංගු දෙක තුනක් එහා.. අපි ගිහින් එන්නම්" 

ඈ තවත් යමක් ඇසීමට පෙර මම රථය පන ගැන්විමි. "මේ ඉතුරු උන ඩිංග" ලෙස ඈ කීවද, සෑහෙන පමණ බර පලා මල්ලක් ඈ හිසමත තබා ගනු මා පැති කන්නාඩියෙන් දිටිමි.

"ඔයා දන්නවද ඒ කවුද කියල ? " රථය පාරට ගත වහාම ඈ මගෙන් විමසිය.

"ඒ අපේ ගයන්තගේ අම්ම.. වෙලාවට එයට මාව අදුන ගන්න බැහැ.. එකයි මම ඔයාට කෙනිත්තුවේ.. හරි නැනේ අදුන ගත්තනම් එයා අවුල් වෙයි.."

"ගයන්තගේ අම්ම ... "

බිරිඳගේ මිතුරෙකු වූ ගයන්ත මා හඳුනා ගත්තේ විශ්ව විද්‍යාලයේ උගන්නා සමයේ අවශ්‍ය තාවයකට පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පිටයට ගිය මොහොතකය. ඉගෙනීමෙහි දක්ෂයෙකු වූ ගයන්ත මා හමුවන විට පළමු වසර වෛද්‍ය සිසුවෙක් බව මා මතකයේ ඇත.

"ඉතින් ගයන්තගේ අම්ම ඇයි මෙහෙම..."

"ලගදි අපේ තාත්තට ගයන්ත හම්බෙලා.. තාම ජොබ් හම්බෙලා නැතිලු.. මේ අවුරුද්දේ මුලලු අවුට් වුනේ.. තවත් අවුරුද්දක් යයිලු ජොබ් හම්බෙන්න.. ගයන්තගේ නංගි තාම ඉගෙන ගන්නවා.. ඔහොම තමා ඉතින් අම්ම ඒගොල්ලන්ට උගන්නන්නේ"

"අපි උඩ ඇරපු බැලුන් දෙකෙන් එකක් තමා මේ කඩා වැටිලා තියෙන්නේ.. ඒවා ඉතින් එහෙම තමයි මේවා කැඩෙනවා බිඳෙනවා.. අපි අයෙත් මේක උඩ ඇරලා ලංකාවේම තරුණ තරුණියන්ට නොමිලේ වයි ෆයි ලබා දීමේ යහපාලන පොරොන්දුව ඉටු කරනවා.. ඔය ගිය ආණ්ඩුව මොකද කලේ.. උදගොෂණය කල තරුණයින්ට වතුර ගැහුවා .."

මම ගුවන්විදුලිය නවතා දැමීමි..











Monday, September 5, 2016

උට පිස්සු ...

ටින් බෙලෙක් දෙක තුනක් එකට බැඳ         කිටිකිටියේ
ගල් කැටක් ගෙන තලන ඔහු වරෙක මා        දිටියේ 
පාවහන් අතදමා හඬ තලා හරි                     හරියේ 
නගර මැද එහෙ මෙහේ ඔහු දුවයි                 කලබලයේ 

අලුවන්ව හැඩ ගැසුණු කෙහෙ වැටිය               සුරමින 
විටෙක ඔහු හඬනවා මහා පොළොවේ             වැතිරගෙන
දුක් රසය විදි දනා දෙන කෑම උරය                   ගෙන
මල් සිනා නගනවා කෝල බැලුමන්                  දෙමින 


සඳ නැගී එන විටදී රාත්‍රිය                             බබලමින
ඔහු දනී සුව තැනක් පාලමක් යට                     තිබෙන
නිදි නොඑන මන කියන කතන්දර පොත         රැගෙන
ඔහු ඇදෙයි පාලමට ගෝනි මලු පොදිය             ගෙන  

පාලමේ බිතු අතර මනෝ නිවහන                    තැනේ
ඇග යනෙන කුහුඹු රැල ඔහුට කිතියක්             ගෙනේ
කුණු ඇලේ ජල දහර නගන සිලි                      සිලියෙනේ
බලු බලල් කැල අතර ඔහුගේ රැය ගත               උනේ

නිදි අහිමි දෙඇස මත ලහිරු රැස                   නගමිනේ 
කදමල්ල රැගෙන ඔහු යලිත් මෙහි එනු          පෙනේ
බඩගින්න පිපාසය නොදැනුනත්                   එලෙසිනේ
දුක දන්න හදවතක් ඔහු සොයනු මට            දැනේ

බත්කටක් දිය බිඳක් මට දෙන්න                   කියමිනේ
හිත කියන මුත් ඔහුගේ වචන නෑ                   පිට උනේ
කටින් එන වදන් ගෙන කඩේකට                  ගොඩ උනේ 
ඔය පිස්සා එලවපිය හඩින් ඔහු                     ගැස්සුනේ