Saturday, July 11, 2015

සැබෑ නොවන කොලපාට හීනය....

පුංචිකාලේ හම්බෙච්ච මඩොල් දුව පොත කියවනකොට අපේ හිතේ තිබුණ ලොකුම උවමනාව ජින්නා, උපාලි වගේ ගගකින් වටවෙච්ච පාලු දුපතක මාලුවෙක් බාගෙන ඔරුවක් තියාගෙන මයියොක්ක ටිකක් වවාන ජීවත්වෙන එක. ඒ කාලේ අපේ guid book එක උනේ මඩොල් දුව කියමුකෝ... ඒ පොතේ සමහර තැන් අදටත් මට කට පාඩම්..
පස්සෙන් පහු අම්ම ගෙනත් දීපු වනගත යාළුවො පොත කියෙවුවම එකේ තිබුණ වල් බුරු නිදහසට මම හදවත අන්තිම මිලිමිටරේ ඉදලම ආස කළා.. එදා ඉදන් අපේ උවමනා උනේ අරවගේ දුපතක ජීවත්වෙන ගමන් ඉදල හිටලා කැලේකට වැදිලා සත්තු එක්ක ජිවත් වෙන්න.. යාළුවො එක්ක කැලේ පැනල වල් කොච්චි එක්ක සියබල කන්න.. කැලේ ඇතුලෙ ගස් වල පැල් අටවන්න සෙනසුරාද ඉරිදා දවස් දෙකම ගතවෙච්ච කාලේ මට හිතුනේ මම ඒ ජීවිතේට ලංවෙලා කියල..
පස්සේ ලැබිච්ච දිගාමඩුලු වික්‍රමය කියවද්දී ඒ ජිවිතේ නැතත් කැලෑ ගමකට වෙලා වැවකින් වතුර ටිකක් නාල පෝල් අතු පලකට වෙලා නිදාගන්න හිතුනනම් කියල හිතිච්ච වාර අනන්තයි.
ඒ හීන ඔක්කොම හිතේ පැලපදියම් වෙද්දී ඉගෙනීමේ තරගෙට අපි හැමෝම ඇදිල ගියේ අපිටත් නොදැනීම.. ඒ නිදහස සැනසීම වෙනුවට ඉගෙනීමේ තරගෙන් පස්සේ සල්ලි හොයන තරගෙට අපි මාරු වෙලා... ජින්නා උපාලි දුපත් වැවු කැලෑ ඔක්කොම හීන වලට කෝටු කරලා කොන්ක්‍රීට් වනාන්තරෙක අපි අපිවම අතරමන් කරගෙන...
කොලපාටක් නොපෙනෙන බිත්ති හතරකට කොටුවෙලා කොම්පියුටරයක් ඇතුලෙ අපි ජිවිතේ හොයන්නේ අවේශයෙන් වගේ.. ඒ හොයන අතර ජින්නල උපාලිලා ගිය ලස්සන ගමනක විස්තර හම්බුනාම අනේ අපිටත් යන්න ඇත්නම් කියල හුල්ලන්නේ ඒ මග ඇරිච්ච ජිවිතේ හෙවනැලි තාමත් අපේ හිතේ පතුලේ තියන නිසා ...